කුරුණෑගල විනාශ කළ ගොඩනැගිල්ල ඉපැරණි ගොඩනැගිල්ලක්

කුරුණෑගල මහ නගර සභාවේ මෙහෙයවීමෙන් හානි කර ඇති කුරුණෑගල රාජධානියේ රාජසභා මණ්ඩපය බවට හඳුන්වන ගොඩනැගිල්ල ඉපැරැණි ගොඩනැගිල්ලක් බවට මූලික නිරීක්ෂණයේදීම හඳුනාගත හැකිවූ බව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය සෙනරත් දිසානායක මහතා ප්‍රකාශ කළේය.

මේ වනවිට ඉමහත් ආන්දෝලනයකට ලක්ව තිබෙන හානියට පත් කුරුණෑගල රාජධානියේ රාජසභා මණ්ඩපය නමින් හඳුන්වන ගොඩනැගිල්ල නිරීක්ෂණය කිරීමට අද (17දා) පස්වරුවේ පැමිණි අවස්ථාවේදී පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ කරුණු සඳහන් කළේය.

මෙම ගොඩනැගිල්ල සිදුව ඇති හානිය සම්බන්ධයෙන් කරුණු සොයා බැලීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් පත් කරන ලද කමිටුවේ සභාපතිවරයා වන මහාචාර්ය සෙනරත් දිසානායක මහතා එම කමිටුවේ අනෙකුත් සාමාජිකයන්දද සමග පැමිණ එහි හානිය නිරීක්ෂණය කළේය.

කමිටුවේ අනෙකුත් සාමාජිකයන් වන ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ පුරා විද්‍යාඥයෙකු වන මහාචාර්ය ටී.ජී.කුලතුංග, මධ්‍යම සංස්කෘතික අරමුදලේ සහකාර අධ්‍යක්ෂ (සංවර්ධන) සුමේධා මාතොට, සංස්කෘතික අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ පුරාවිද්‍යාඥ ප්‍රසාද් රණසිංහ මහත්ම මහත්මීන්ද මෙම නිරීක්ෂණයට පැමිණ සිටියහ.

පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු කණ්ඩායම මෙම ඉපැරණි ගොඩනැගිල්ලට සිදු කර ඇති හානිය සම්බන්ධයෙන් කරුණු රැසක් සොයා බැලූ අතර මේ සම්බන්ධයෙන් වන අංග සම්පූර්ණ නිවැරැදි අපක්ෂපාති වාරතාවක් තම කණ්ඩායම හා එක්ව අග්‍රාමාත්‍යවරයා වෙත හැකි ඉක්මණින් ලබා දීමට බලාපොරොත්තු වන බවද මහාචාර්ය සෙනරත් දිසානායක මහතා මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළේය.

ඉපැරැණි යැයි කියන ස්ථානයකට සිදු වන හානියක් තුළින් එම ස්ථානය නිරුපද්‍රිතව තිබෙනවාට වඩා තොරතුරු පහසුවෙන් අනාවරණය කරගත හැකි බවද ඒ මහතා සඳහන් කළේය.

Recommended For You

About the Author: Editor