
ඔස්ට්‍රේලියාව නියෝජනය කළ, රුසියාවේ උපන් හිම මත ලිස්සා යාමේ ක්‍රීඩිකා එකතෙරීනා අලෙක්සන්ද්‍රොව්ස්කායා මොස්කව් හි තට්ටු නිවාසයකින් වැටී මියගොස් තිබෙනවා.මියයන විට ඇගේ වයස අවුරුදු 20 ක් වුණා.
ඇය සියදිවි නසාගත්තේ යයි සැක කෙරෙනවා.ඔස්ට්‍රේලියානු හිම මත ලිස්සා යාමේ ක්‍රීඩක හාර්ලි වින්ඩ්සර් සමග එක්වූ පසු ඇය 2016 සිට ඔස්ට්‍රේලියාව නියෝජනය කළා. ඔවුන් දෙදෙනා දෙවරක් ඔස්ට්‍රේලියානු ජාතික ශූරතාව දිනාගත්තා.
එමෙන්ම 2017 ලෝක කණිෂ්ට ශූරතාව දිනුවේ ද ඔවුන් දෙපළයි. එම වසරේම ඔවුන් කණිෂ්ට ග්‍රෝන් ප්‍රී තරගාවලිය ද ජයගත්තා.2018 සිසිර ඔලිම්පික් උළෙලට සහභාගී වීමට ද ඔවුන් සමත් වුණා.
කෙසේ වෙතත් 2019 දී අලෙක්සන්ද්‍රොව්ස්කායාගේ ආබාධ හේතුවෙන් ඔවුන් එක කණ්ඩායමක් ලෙස ක්‍රීඩා කිරීම නැවතුණා.
