සංචාරක ක්ෂේත්‍රයේ ලක්ෂයකට පීඩා

කොවිඩ් 19 හේතුවෙන් පීඩාවට පත් සංචාරක ක්ෂේත්‍රයේ නියුතු ලක්ෂයකට අධික සංඛ්‍යාවකට සහන සැලසීමට අදාළ නිර්දේශිත ලිපි ශ්‍රී ලංකා මහ බැංකුව මූල්‍ය සහ ලීසිං ආයතනවලට මෙතෙක් යොමු නොකිරීම නිසා සහන සැලසීමේ කටයුතු අඩාළ වී ඇති බව වාර්තා වෙයි.

ජාතික සංචාරක මාර්ගෝපදේශ කථිකාචාර්යවරුන් ඇතුළු සංචාරක ක්ෂේත්‍රයේ නියුතු වූවන්ට සහන සැලසීමට අමාත්‍ය මණ්ඩලය මීට මාසයකට පෙර තීරණය කරන ලදී. මෙම පිරිස මූල්‍ය ආයතන හා ලීසිං සමාගම්වලින් ලබාගෙන ඇති විවිධ ණය වාරික ගෙවීමට සහන කාලයක් ලබා දීමට ද අමාත්‍ය මණ්ඩලය නිර්දේශ කර ඇත.

මෙම ලිපි නිකුත් නොකිරීම සම්බන්ධයෙන් සංචාරක සංවර්ධන අධිකාරියේ සාමාන්‍යාධිකාරී ධම්මිකා විජේරත්න පසුගිය බ්‍රහස්පතින්දා ශ්‍රී ලංකා මහ බැංකුව සමග සාකච්ඡාවක් ද පවත්වා ඇත. එහි දී ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කර ඇත්තේ කඩිනමින් ලිපි නිකුත් කරන බවයි. අමාත්‍ය මණ්ඩල නිර්දේශ මත සංචාරක ක්ෂේත්‍රයේ නියුතු වූවන්ට රුපියල් 15,000ත් 20,000ත් අතර මුදලක් ලබා දීම ද මෙතෙක් ක්‍රියාත්මක වී නොමැත. සංචාරක සංවර්ධන අධිකාරිය විසින් එම මුදල් ගෙවිය යුතු වෙයි. සංචාරක මාර්ගෝපදේශකයින්ගෙන් පමණක් අයැදුම්පත් 2500ක් ලැබී ඇති අතර රියැදුරන්ගෙන් ද අයැදුම්පත් ලැබී ඇත.

Recommended For You

About the Author: Editor