නෙතන්යාහු ඊශ්‍රායලයේ අරාබි පක්ෂය දෙකඩ කරන ලකුණු

ඊශ්‍රායලයේ ඒකාබද්ධ ලයිස්තුව (Joint List) එහි අරාබි දේශපාලන පක්ෂ හතරක එකමුතුවක් වනවා. ඊට පාර්ලිමේන්තු ආසන 120 න් 15 ක් අයත් වනවා. 2015 දී එය ස්ථාපිත කරන ලද අතර ඊශ්‍රායලයේ ජීවත්වන අරාබි ජාතිකයන්ගේ ඡන්දය තමන් වටා ඒකරාශී කරගැනීමට ඔවුන් සමත්ව තිබෙනවා.

කෙසේ වෙතත් මේ වනවිට එම පක්ෂය කැඩීයාමේ අවදානමක් මතුව ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය පෙන්වා දෙන්නේ. ඊට හේතුව වී ඇත්තේ පක්ෂය තුලින් මතුව ඇති ප්‍රතිවිරෝධතා යි. මෙම පක්ෂ හතරෙන් එකක් වන්  මන්සූර් අබ්බාස්ගේ එක්සත් අරාබි ලැයිස්තුව හෙවත් රා’ම් පක්ෂය අනෙක් පක්ෂවලින් වෙන්වන ලකුණු පෙන්වා තිබෙනවා.

දිගටම විපක්ෂයේ සිටීම තුළින් ඊශ්‍රායල අරාබි ජනතාවගේ අභිවෘද්ධිය උදෙසා කිසිවක් නොකළ හැකිබව මෙම පක්ෂය තුළ සාකච්ඡාවක් මතුව තිබෙනවා. එම ජනතාවට සේවය කළ නොහැකි විට, දිගුකාලීනව සිය ඡන්ද පදනමට ද එය අයහපත් ලෙස බලපානු ඇතැයි මෙහිදී ඉදිරිපත්ව ඇති තර්කයයි.

නොබෝදා ඊශ්‍රායල පාර්ලිමේන්තුව කල් දැමීම පිළිබඳ පවත්වන ලද ඡන්දයේදී අරාබි සන්ධානයේ අනෙක් පක්ෂ පාර්ලිමේන්තුවේ සිටි නමුත් අබ්බාස්ගේ මන්ත්‍රීන් එහි සිටියේ නැහැ. අරාබි සන්ධානයට හිමි ආසන 15 න් හතරක් රා’ම් පක්ෂය සතුයි.

මෑතකදී අගමැති බෙන්ජමින් නෙතන්යාහු සහ රා’ම් නායක මන්සූර් අබ්බාස් අතර හමුවක් සිදුව තිබෙනවා. ඊශ්‍රායල අරාබි ජනතාවගේ අභිවෘද්ධිය උදෙසා අවශ්‍ය කටයුතු සම්පාදනය පිණිස අරමුදල් ලබාදීමට නෙතන්යාහු එකඟ වූ බව සඳහන්. අබ්බාස් මෙම කරුණ ප්‍රතික්ෂේප කරනවා.

මැතිවරණයක් නියත වශයෙන්ම ලබන වසර මුලදී පැවැත්වෙනු ඇතැයි අනුමාන කෙරෙන පසුබිමක ඊශ්‍රායල දේශපාලන තත්ත්වය ව්‍යාකූල වීමට හැකියාව තිබෙනවා. ලිකුද් පක්ෂය නොබෝදා දෙකඩ වූ අතර තවත් දේශපාලන පෙරළි ඉදිරියේදී සිදුවිය හැකියි.

Recommended For You

About the Author: Chamara