අද සිට ගාස්තු වැඩිකිරීමට ගිය බස් සංගම් ගමන් වාර 50% අඩුකරයි

බස් රථවල ගමන් ගන්නා මගීන් සංඛ්‍යාව අඩු වී ඇති බැවින් අද (20 වැනිදා) දින සිට ධාවනයේ යොදවන පෞද්ගලික බස් රථ සංඛ්‍යාව සහ ගමන්වාර ගණන 50 % දක්වා අඩු කිරීමට තීරණය කළ බවත් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසයි.

මෙම ගමන් ගන්නා වාර සංඛ්‍යාව අඩු කිරීම මාර්ග අංක අනුව තීරණය කරන බවත් මේ වන විටත් කොළඹ සිට යාපනය දක්වා බස් රථ ධාවනය 50 % කින් අඩු කර ඇති බවත් හෙතෙම සඳහන් කළේය.

ඉන්ධන සහනය ලබාදීම, ගාස්තුව සියයට පනහකින් වැඩිකිරීම , කාර්යාල කාලසටහන් වෙනස් කර මගීන් සංඛ්‍යාව වැඩි කිරීම හෝ රක්ෂණ වාරිකය ගෙවීම සඳහා කාලය දිගු කිරීම යන රජයෙන් කළ ඉල්ලීම් එකක් හෝ ඉටු නොවූ බව පැවසූ සභාපතිවරයා ලබාදුන් ලීසිං සහනය පෞද්ගලික බස් රථ සඳහා සීමා නොවූවක් බවද සඳහන් කළේය.

පවතින තත්ත්වය යටතේ තව මසක් මේ ආකාරයෙන් බස් ධාවනය වුවහොත් අනිවාර්යෙන්ම බස් කර්මාන්තය බිඳ වැටෙන බව ඔහු කියයි. මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ සභාපතිවරයා,

“බස් ටයර් එකක් රුපියල් 35,000 ක් වෙනවා. ටයර් දාන්න ලක්ෂ දෙකකට වඩා ඕන. ආදායමක් නැතුව කොහොමද ඒක කරන්නේ. තව මාසයක් යද්දී බස් 15,000 ක් විතර ටයර් නැතුව කොට උඩ. බස් එකක් දවසක් කෙටි ධාවනවල යෙදීමේදී ටයර්වල වැයවීම රුපියල් 1000ක්. දුර ගමන්වලදී නම් රුපියල් 2000ක්. මේක දරාගන්න අමාරුයි”.

“බස් රථ සේවකයන් පනස්දාහක් විතර ඉන්නවා. බස් කර්මාන්තය ආශ්‍රිත ලක්ෂ හයක් විතර යැපෙනවා. මේ හැමෝම අනාථයි. නීතියට පිටින් භූමිතෙල් ගැහුවත් පාඩුයි. නිකන් පාර තළනවා විතරයි. ගමන් වාර අඩු කළොත් ඩීසල් ටික හරි ඉතුරු වෙනවා” යැයිද පැවසීය.

Recommended For You

About the Author: Editor