බෙහෙත් දහයක මිල ඉහළට

මිල පාලනයට යටත් නොවන ඖෂධ වර්ග දහයක මිල වැඩි කිරීමට සිදු වූ බව ඖෂධ ආනයනකරුවන්ගේ කර්මාන්ත මණ්ඩලය ජාතික ඖෂධ නියාමන අධිකාරියට දැනුම් දී ඇත.

ජාතික ඖෂධ නියාමන පනත උල්ලංඝනය කරමින් ඖෂධ වර්ග දහයක මිල වැඩි කළ සමාගම් පහක ලියාපදිංචි බලපත්‍ර සහ ආනයන බලපත්‍ර තහනම් කිරීමට ජාතික ඖෂධ නියාමන අධිකාරිය පසුගිය සිකුරාදා (17 වැනිදා) පියවර ගත්තේය.

එහෙත් ඖෂධ ආනයනකරුවන්ගේ කර්මාන්ත මණ්ඩලය ප්‍රකාශ කරන්නේ මෙම සමාගම් මිල පාලන රෙගුලාසි උල්ලංඝනය කර නොමැති බවයි. ඖෂධ අඛණ්ඩව සැපයීම,​ ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ඉහළ යාම හේතුවෙන් මෙලෙස ඖෂධ වර්ග දහයක මිල ඉහළ දැමූ බව ඖෂධ ආනයකරුවන්ගේ කර්මාන්ත මණ්ඩලය පවසයි. සෑම ආනයනකරුවෙක්ම ඩොලරයට සාපේක්ෂව වාර්ෂිකව ඖෂධ මිල සාමාන්‍ය මට්ටමින් ඉහළ දමන බවද එම මණ්ඩලය පෙන්වා දෙයි.

කෙසේ වෙතත් ඖෂධ සඳහා මිල සූත්‍රය හඳුන්වා දෙන ලෙස ඖෂධ ආනයනකරුවන්ගේ මණ්ඩලය අවස්ථා කිහිපයකදී ජාතික ඖෂධ නියාමන අධිකාරියෙන් ඉල්ලා තිබේ. කිසිදු ඖෂධ සමාගමක් මිල පාලනය කර ඇති ඖෂධ වර්ග 74 නීතිරීති උල්ලංඝනය කර නොමැති බවද එම මණ්ඩලය පෙන්වා දෙයි.

මේ අතර ඖෂධ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදෙන ලෙස ​පෞද්ගලික ඖෂධහල් හිමියන්ගේ සංගමයද සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චිට දැනුම් දී ඇත. එහිදී ඖෂධ හල් හිමියන්ට සියයට 20ක වට්ටමක් ලබාදිය යුතු බවද එම සංගමයේ සභාපති චන්දික ගන්කන්ද පවසයි

Recommended For You

About the Author: Editor