අරාබි බලාපොරොත්තුව රතු ග්‍රහයා වෙතට

2020 වර්ෂය අඟහරු වසරක් බව මෑත කාලයේ බොහෝ දෙනා කතා කල කාරණාවක්. එය සපථ කරමින් මේ වන විට අඟහරු මෙහෙයුම් තුනක් පෙළගස්වා තිබෙනවා. ඒ අතරින් විශේෂිතම වූ අඟහරු මෙහෙයුමක් තවත් පැය කිහිපයකින් දියත් වීමට සියළු කටයුතු සුදානම්.
සාර්ථක වුවහොත් අඟහරු වෙත ලඟා වූ පස් වැනි රට බවට පත් වීමට සුදානම් වන්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයයි. එමීර් රාජ්‍ය හතකින් සමන්විත එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතීතයේ ලෝකයට විද්‍යාව කුමක්ද යන්න කියා දුන් ජාතියක්.
2014 දී ප්‍රකාශයට පත් කරන ලද “අරාබි අඟහරු මෙහෙයුම“ ඉතා වේගයෙන් සහ අඩු වියදමක් සහිතව ක්‍රියාත්මක වූ මෙහෙයුමක්. සාමාන්‍යෙයන් අඟහරු වෙත යවන රෝවරයක් හෝ ඕර්බිටර් එකක් මුල සිටම නිපදවීමට වසර 10 – 12 ක් ගත වුවත් ඒ සියළු වාර්තා අභිබවමින් ඔවුන් තම අඟහරු යානාව වසර 6 කින් සහ ඩොලර් මිලියන 200 ක සීමාව තුල නිම කිරීමට සමත් උනා.
අද අරාබිය වාර්තාවක් තබමින් පෘථිවි කක්ෂය හැර යන පළමු අරාබි යානාව බවට පත් වේවි. ඔබට මතක ඇති මේ වසරේදී පළමු අරාබි ගගනගාමියා වශයෙන් අල් මන්සූරි අයිඑස්එස් එකට ගමන් කලා. ඒ වගේම 2018 වසරේදි අරාබිය විසින් නිපදවූ KhalifaSat නම් තම ප්‍රථම පෘථිවි නිරීක්ෂණ චන්ද්‍රිකාව කක්ෂගත කිරීමට සමත් උනා. ඒ වගේම අභ්‍යවකාශයට ගිය පළමු මුස්ලිම් ජාතිකයා, පළමු රාජකීයයා වශයෙන් වාර්තාවක් තබමින් ඇමරිකානු ෂටල් එකක් මඟි්න් STS 55ඩිස්කවරි යානාවේ නැඟී දින හතක් අභ්‍යවකාශයේ ගත කිරීමට සමත් Sultan Salman Al Saud කුමාරයා මේ වන විට එක්සත් ආරාබි එමීර් අභ්‍යවකාශ ආයතනයේ ප්‍රධානිය වශයෙන් කටයුතු කරනවා.
ඉන්ධන සහිතව කිලෝ 1350 ක් බරුති මෙම අඟහරු යානාව HOPE එහෙමත් නැත්නම් Al Amal ලෙසයි නම් කර ඇත්තේ. යානාව අඟහරු වටා භ්‍රමනය වන ඕර්බිටර් එකක් පමණක් වන අතර, එය 2021 පෙබරවාරි 12 වැනිදා අඟහරු කක්ෂයට ඇතුල් කිරීමට නියමතයි. එය කලින් යොදාගත් දිනයක්. එක්සත් අරාබි එමීර් රාජ්‍යය පිහිටුවා වසර 50 ක් සපිරෙන එදිනට අරාබි බලාපොරොත්තුව අඟහරු කක්ෂයට ඇතුලත් කිරීමට හැකි වුවහොත් එය අති විශාල ජයග්‍රහනයක් වගේම ඓතිහාසික අවස්ථාවක් වේවි.

මෙම යානාව රැගෙන යන්නේ ජපාන මිට්සුබිෂි H-IIAරොකට්ටුවක් මගිනි. ද්‍රව ඔක්සිජන් හා හයිඩ්‍රජන් වලින් ක්‍රියාත්මක වන අදියර දෙකකින් සහ ඝණ ඉන්ධන පැති බූස්ටර් දෙකක් සහිත මෙම රොකට්ටුව මේ වන විට 41 වතාවක් ගුවන් ගත වී ඇති අතර, එකම අවස්ථාවකදී පමණක් අසාර්ථක වී තිබෙනවා.‍‍අඟහරුගේ දේශගුණය හා වායුගෝලය සම්බන්ධව පරිපූර්ණ අධ්‍යයනක් සිදු කරන පළමු මෙහෙයුම මේ වන අතර, සාර්ථක වුවහොත් ඇමරිකාව, රුසියාව, යුරෝපය හා ඉන්දියාව විසින් පමණක් ළගා වී ඇති අඟහරු වාර්තාවට අරාබියටත් ළගා වීමට හැකි වේවි. ඒත් පස්වැනි රට අරාබියද චීනයද යන්න නිසි ලෙස කිව නොහැකියි. මොකද චීන ටියන්වෙන් 1 අඟහරු යානාවත් ජුලි 23 වනදා ගුවන්ගත වීමට නියමිත නිසා.

සජීවී බලන්න මෙතනින්

Recommended For You

About the Author: Editor