ශ්‍රී ලාංකික කාවන් කාම්බෝජයට

පාළුව හා කාන්සිය හේතුවෙන් මානසික අවපීඩනයට ලක්ව සිටි ශ්‍රී ලංකාවෙන් පරිත්‍යාග කළ අලියකු කාම්බෝජයේ නිදහස් පරිසරයකට රැගෙන යාමට පාකිස්තාන අධිකරණයක් අවසර ලබාදී ඇත.

ඒ.එෆ්.පී. පුවත් සේවය වාර්තා කරන ආකාරයට කාවන් නම් මෙම අලියා හුදෙකලා භූමියක රඳවා තැබීම හා සංගීත වැඩසටහන් සඳහා අඛණ්ඩව යෙදවීම හේතුවෙන් දැඩි මානසික අවපීඩනයකට ලක්ව දිගින් දිගටම අස්වාභාවික චර්යාවන් ප්‍රදර්ශනය කර ඇත.

ඉස්ලාමාබාද් සත්වෝද්‍යානයේ රඳවා සිටි මෙම අලියා හුදෙකලා කළ අවස්ථාවලදීද දම්වැල් දමා බැඳ තබා ඇති අතර ඇතිවූ මානසික රෝගී තත්ත්වයක් මත වෛද්‍ය ප්‍රතිකාර ලබාදීම හෙළිදරව් වීමත් සමග දේශීයව මෙන්ම විදේශීයවද විශාල විරෝධයක් ගොඩනැගී ඇත.

අලියා නිදහස් කරන ලෙස මහජන පෙත්සමක්ද සකස් කෙරුණු අතර ඊට අත්සන් තබා ඇති සංඛ්‍යාව 400,000 කට අධිකය.

මෙම මහජන විරෝධය හමුවේ ඉස්ලාමාබාද් අධිකරණය විසින් පසුගිය මැයි මාසයේදී ‘කාවන්’ නිදහස් කිරීමට නියෝග කර ඇත. කාවන්ට සුදුසු අභය භූමියක් සොයන ලෙසද අධිකරණය වනජීවී නිලධාරීන්ට නියෝග කර තිබේ.

එම නියෝගය මත ක්‍රියාත්මක වූ වනජීවී නිලධාරින් පසුගිය සෙනසුරාදා අධිකරණයේදී අනාවරණය කරන ලද්දේ කාම්බෝජයේ අක්කර 25,000 ක විශාලත්වයෙන් යුත් අභය භූමියක් අලියා වෙනුවෙන් තෝරාගත් බවයි. එම යෝජනාවට අධිකරණය එකඟතාව පළකර ඇති අතර අවසානයේ ශ්‍රී ලාංකික කාවන් කාම්බෝජයට යැවීමට නියෝග කර ඇත.

Recommended For You

About the Author: Editor