මැතිවරණයට තාවකාලික හැඳුනුම්පත්

පාර්ලිමේන්තු මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා වලංගු හැඳුනුම්පතක් නොමැති ඡන්ද හිමියන්ට තාවකාලික හැඳුනුම්පතක් ලබාදීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන් දැනුවත්කර ඇත.

අදාළ අයැදුම්පත් ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිවරයාගෙන් ලබාගත හැකි බවත්, එම අයැදුම්පත සම්පූර්ණ කර මෑතකදී ලබාගත් කළු සුදු හෝ වර්ණ (පළල සෙන්ටිමීටර් 2.5ක් හා උස සෙන්ටිමීටර් 3 ක් ) උඩුකය ඡායාරූප පිටපත් දෙකක්ද සමග මෙමස 29 වැනිදාට පෙර අදාළ කොට්ඨාසයේ ග්‍රාම නිලධාරි හෝ වතු අධිකාරිට භාරදිය යුතු බව මැතිවරණ කොමිෂන් සභාව පැවැසීය.

නව ජාතික හැඳුනුම්පතක් ලබාගැනීම සඳහා මෙ මස 29 වැනිදා දක්වා අයැදුම්පත් භාරදෙන අයැදුම්කරුවන්ට,ජාතික හැඳුනුම්පතේ තහවුරු කිරීමේ ලිපිය ප්‍රමාණවත් බවද මැතිවරණ කොමිෂන් සභාව කීවේය.

ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ජාතික හැඳුනුම්පත,වලංගු විදේශ ගමන් බලපත්‍රය,වලංගු රියැදුරු බලපත්‍රය,රාජ්‍ය සේවා විශ්‍රාමික හැඳුනුම්පත,වැඩිහිටි හැඳුනුම්පත,පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරන ලද පූජ්‍ය/පූජක හැඳුනුම්පත හෝ ජාතික හැඳුනුම්පතේ තහවුරු කිරීමේ ලිපිය යන ලේඛනවලින් එකක් අවශ්‍ය වේ.

Recommended For You

About the Author: Editor