
වැලි සහ පස් ප්‍රවාහන බලපත්‍ර අවශ්‍යතාව අහෝසි කිරීම හේතුවෙන් 2020 වසරේ ගෙවුණු මාස 06 ක කාලයේ රජයට රුපියල් මිලියන 1200ක ආලාභයක් සිදුව ඇතැයි පැවසේ. භූවිද්‍යා හා පතල් කාර්යාංශයේ සිදුකර ඇති අභ්‍යන්තර විගණනයක් ඔස්සේ මෙම කරුණු අනාවරණය වී ඇත.
මේ පිළිබඳ අදහස් දක්වන භූ විද්‍යා හා පාතල් කාර්යාංශයේ අධ්‍යක්ෂ (ඛනිජ නාමකරණ) හේමා ලියනාරච්චි සඳහන් කරන්නේ මේ වන විට නැවත බලපත්‍ර ක්‍රමය ක්‍රියාත්මක නමුත් පොලිසිය බලපත්‍ර පරීක්ෂා නොකරන බැවින් බලපත්‍ර ලබාගැනීම සඳහා තම කාර්යාංශයට එන ප්‍රමාණය විශාල ලෙස අඩුවී ඇති බවයි. එහි ප්‍රතිඵලයක් ලෙස නීති විරෝධී පතල් කැණීම්ද ඉහළ ගොස් ඇතැයි අධ්‍යක්ෂවරයා සඳහන් කරයි.
පතල් හා ඛනිජ පනතට අනුව වැලි හෝ පස් ප්‍රවාහනය සඳහා බලපත්‍ර වෙනුවෙන් අයැදුම් කරන විට පතල් බලපත්‍ර ඉදිරිපත් කළ යුතුය. පවතින නීතියට අනුව බලපත්‍රයක් නොමැතිව වැලි හෝ පස් ප්‍රවාහනය නීති විරෝධී වන අතර බලපත්‍ර ලබාගෙන තිබේද නැද්ද යන පරීක්ෂා කිරීමේ බලය පොලිසියට පවරා ඇත. මීට අමතරව භූ විද්‍යා හා පතල් කාර්යාංශ නිලධාරීන්ට ද බලපත්‍ර පරීක්ෂා කිරීමේ බලය පවතී.
මේ අතර පසුගිය සතියේ අභියාචනාධිකරණය විසින් වැඩබලන පොලිස්පතිවරයාට නියෝගයක් නිකුත් කරමින් පෙර මෙන් වැලි පස් හා මැටි ප්‍රවාහනය කිරීමේදී බලපත්‍ර පරීක්ෂා කරන ලෙස දන්වා සිටියේය. අභියාචනාධිකරණය මෙම නියෝගය නිකුත් කරන ලද්දේ පාරිසරික යුක්ති කේන්ද්‍රය විසින් ගොනු කර තිබූ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුවය.
අරුණ පුවත්පත