
චීන දේශ සීමාවේ කලින් කලට ගැටුම් මතු වෙයි. ඉන්පසු ඒවා සමථයට පත් වේ. මෙය දැන් සෑම වසරකට හෝ දෙකකට හෝ වරක් සිදුවන සාමාන්‍ය තත්ත්වයක් බවට පත්ව තිබේ. මෙම වසරේදී නැවතත් එවන් ගැටුම් නිර්මාණය වූ අතර මෙවර ඒ පිළිබඳ වෙනදාටත් වඩා කතාබහක් ඇති විය. චීනය පසුගිය මාස කිහිපය තුළ විවිධ අර්බුදවල පැටලෙමින් සිටියදී ඉන්දීය දේශසීමාවේ තවත් අර්බුදයක් මතු වීම මෙම අවධානයට එක් හේතුවක් වන්නට ඇත. නමුත් වඩා වැදගත් කරුණ වූයේ දෙපාර්ශවය අතර වෙනදාට වඩා බිහිසුණු ගැටුමක් හටගැනීම ය.
මෙවර දේශසීමා ගැටුම් වර්ධනය වූයේ ලදාක් ප්‍රදේශය ආශ්‍රිතව ය. එය පසුගිය වසර වනතෙක් ඉන්දියාවේ ජම්මු හා කාශ්මීර ප්‍රාන්තයේ කොටසක්ව පැවතියේ ය. එහෙත් වර්තමානයේදී එය ඉන්දීය රජයේ ඍජු පාලනයට යටත් ප්‍රදේශයකි. ජම්මු හා කාශ්මීරය තවදුරටත් ඉන්දියාවේ ප්‍රාන්තයක් නොවේ. එයට වූ ප්‍රාන්ත බලතල 2019 දී ඉවත් කරන ලද අතර, එම ප්‍රාන්තය වෙනුවට ජම්මු හා කාශ්මීර් ප්‍රදේශය හා ලදාක් ප්‍රදේශය වෙන් කර, එම ප්‍රදේශ දෙකම ඉන්දීය මධ්‍යම රජයේ පාලන ප්‍රදේශ බවට පත් කෙරිණ.
මෙම කලාපයේ පිහිටි අක්සායි චින් නම් ප්‍රදේශයේ පාලනය චීනය අත පවතින නමුත් ඉන්දියාව ඊට අයිතිවාසිකම් කියයි. එහි අයිතිය පිළිබඳ නෛතික තර්ක 1841 දී සීක් අධිරාජ්‍යය හා ටිබෙටය අතර ඇතිවූ ගිවිසුමක් කරා දිවෙයි. පසු කලෙක ඉන්දියාව බ්‍රිතාන්‍ය පාලනය යටතේ තිබියදී අඳින ලද සීමා මායිම් පිළිබඳ චීනය හා ඉන්දියාව අතර ඇති මත ගැටුම වර්තමානයේ ද විසඳී නොමැත.
මේ අතර ඉන්දියාවේ ඊසානදිග පිහිටි අරුණාචල් ප්‍රදේශ් ප්‍රාන්තය පිළිබඳ ද එවැනි ගැටුමක් පවතී. එයට චීනය අයිතිවාසිකම් කියන අතර එම ගැටුම ද සියවසකටත් වඩා පැරණි ගිවිසුමක් අරබයා හටගෙන ඇත.
යටත් විජිත යුගයේදී ඇති වූ ගිවිසුම් හා මායිම් මත පිහිටා මෙම මතභේද ඇති වුවද එහි වර්තමාන ගමන් මග තීරණය කරන්නේ පවතින කලාපීය සහ ලෝක භූ දේශපාලනික තත්ත්වයන් සමගය. ඕනෑම අර්බුදයක් පිළිබඳ මෙය අඩු වැඩි වශයෙන් සත්‍යයකි. චීන-ඉන්දියා ගැටුම සම්බන්ධයෙන් ද එය එසේ ය.
අර්බුදයේ ගමන් මග
චීනය සහ ඉන්දියාව අතර පසුගිය වසර 70 ක කාළය තුළ පැවතියේ වරෙක ශක්තිමත් වන වරෙක කඩා වැටෙන ආකාරයේ සබඳතාවකි. ඉන්දියාව ස්වාධීනතාව ලබන සමයේ චීනය පැවතියේ ජාතිකවාදීන් සහ කොමියුනිස්ට්වාදීන් අතර පැවති සටනක් මැද ය. 1949 දී ජාතිකවාදීන් තායිවානයට පළා ගිය අතර කොමියුනිස්ට්වාදීන් විසින් මහජන චීනය ස්ථාපනය කරන ලදී.
ඉන්දියාවේ ජවහර්ලාල් නේරුගේ පාලන සමයේ මුල් අවධියේදී ඔහු මහජන චීනයට හිතවත් ප්‍රතිපත්තියක් අනුගමනය කළේය. මහජන චීනයට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකත්වය හිමි විය යුතු බව නේරු කියා සිටියේය. දේශසීමාව පිළිබඳ යම් යම් මත ගැටුම් මතු වෙද්දී පවා නේරු විශ්වාස කළේ සියල්ල සාකච්ඡා මගින් විසඳාගත හැකිවන බවය. මේ පිළිබඳ සාකච්ඡා පැවතිය ද ඒවා එකඟතාවක් නොමැතිව අවසන් විය.
1962 ඔක්තෝබරයේදී චීනය විසින් ඉන්දියාව ආක්‍රමණය කිරීමත් සමඟ නේරුගේ බලාපොරොත්තු කඩා වැටුණි. මාසයක් පැවති මෙම යුද්ධයේදී ඉන්දියානු හමුදා දරුණු ලෙස පසු බස්වන ලද අතර එම යුද්ධය නිමා වූයේ චීනය විසින් එම ආක්‍රමණය නවතා දැමීමෙනි. වයෝවෘධ අගමැති නේරුට මෙම යුද්ධය දරුණු කම්පනයක් වූයේය.
මෙම යුද්ධයෙන් පසු කලක් යනතුරු චීන – ඉන්දියා සබඳතා උණුසුම් තත්ත්වයක පැවති නමුත් ඉන්දු – පාකිස්ථාන දේශසීමා මෙන් නොව චීන – ඉන්දියා දේශසීමා අසළ නිතර සටන් ඇවිල ගියේ නැත. 1967 දී එවකට ඉන්දියාවේ ආරක්ෂාව යටතේ වූ සිකිම් රාජ්‍යය හා චීනය අතර දේශසීමාවේදී ඉන්දු-චීන හමුදා අතර බරපතල ගැටුමක් ඇතිවිය. එහෙත් ඒ හැරුණ විට, දෙපාර්ශවය අතර කිසිදු අවස්ථාවක වෙඩි හුවමාරුවක් සිදු නොවූ බව පැවසේ.
දශක කිහිපයකට පසු චීනය සහ ඉන්දියාව සිය දේශසීමා අර්බුදයන් පිළිබඳ සාකච්ඡා පැවැත්වූ අතර 1996 දී දෙපක්ෂය අතර මෙම ගැටුම් සාකච්ඡා මගින් සමථයකට පත්කිරීම පිළිබඳ ගිවිසුමක් අත්සන් කෙරුණි. කෙසේ වෙතත් ඉන් පසු ද, විවිධ අවස්ථාවල චීනය සහ ඉන්දියාව අතර මතභේද මතු වූයේය.
ඉන්දියාව “වටලෑම”
මන්මෝහන් සිංගේ පාලන කාළය තුළ (2004-2014) ඉන්දියාව කෙමෙන් බටහිර දෙසට වඩ වඩාත් නැඹුරු වූ අතර බටහිර රටවල ඇතිවූ ආර්ථික අවපාතයත් සමඟ චීනය ලෝක ආර්ථිකයේ වැදගත් සාධකයක් බවට පත් විය. විශේෂයෙන්ම අප්‍රිකාවේ සහ ඇතැම් ආසියාතික රටවල විශාල වශයෙන් ආයෝජනය කිරීමට චීනය කටයුතු කළේය.
මේ සමය තුළ පාකිස්ථානයේ, ශ්‍රී ලංකාවේ සහ බංග්ලාදේශයේ චීනය විසින් සිදු කරන ලද වරාය සංවර්ධනයක් පාදක කර ගනිමින් චීනය විසින් ඉන්දියාව වටලමින් සිටින බවට අදහසක් පළ විය. මෙම අදහස මුලින්ම මතු වූයේ බටහිර රටවල විද්වතුන් අතරිනි. ඔවුහු මෙයට මුතු වැල හෙවත් String of Pearls යයි නම් තැබූහ. මෙම අර්ථ දැක්වීමට අනුව පාකිස්ථානයේ ග්වාදාර්, ශ්‍රී ලංකාවේ හම්බන්තොට සහ බංග්ලාදේශයේ චිතගොං යන වරායයන් මෙම මුතු වැලෙහි මුතු ඇට ලෙස සළකන ලදී. කෙසේ නමුත් මෙම අදහස චීනය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීය.
විශේෂයෙන්ම ෂී ජින්පිං චීනයේ ජනාධිපති ධුරයට පත් වූ පසු චීනය ඉන්දියාව සමඟ සබඳතාවලට විශේෂ වැදගත්කමක් දුන්නේය. 2013 දී අගමැති ධුරයට පත් ලී කෙකියෑංග්, අගමැතිවරයා ලෙස සිය පළමු නිල සංචාරයෙහි යෙදුණේ ද ඉන්දියාවටයි. ඉන්දියාව සහ චීනය BRICS රටවල් දෙකක් වීම හේතුවෙන් ද ඔවුන් අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා වර්ධනය වීම කෙරෙහි අවධානය යොමු වූයේය.
වෙළෙඳ සබඳතා
කෙසේ නමුත් චීනය සහ ඉන්දියාව අතර අන්තර් පුද්ගල සබඳතා සහ වෙළෙඳ සබඳතා ඉතා අඩු තත්ත්වයක පැවැතියේය. 2014 ඉන්දීය මහ මැතිවරණයට පෙර නරේන්ද්‍ර මෝදිට සහය පළ කළ භාරතීය ජනතා පක්ෂයට සම්බන්ධ විද්වතුන් චීන ඉන්දියා වෙළෙඳ සබඳතා වර්ධනය කිරීම කෙරෙහි විශාල අවධානයක් යොමු කළෝය. ආර්ථිකය මත පදනම් වූ ආසියාතික පොදු රාජ්‍ය මණ්ඩලයක් පිළිබඳව පවා ඔවුන් අතරින් අදහස් පළ විය. මීට සමගාමීව චීන ජනපති ෂී ජින්පිං 21 වන සියවසේ සේද මාවත නම් නව සංකල්පයක් හඳුන්වා දෙමින් කලාපයේ ආර්ථික සබඳතා පුළුල් කිරීමේ අදහසක් කරලියට ගෙන ආවේය.
ඉන්දියාවේ ස්ථාවරය වන්නේ ආර්ථික සහයෝගීතාව ඔස්සේ රටවල් අතර සබඳතා වර්ධනය විය යුතු බවය. මේ අනුව සිය ආරක්ෂාවට තර්ජනයක් නොවන තාක් කල් චීනය විසින් කලාපයේ සිදු කරන ආර්ථිකමය මැදිහත්වීම් කෙරේ ඉන්දියාව අනවශ්‍ය ආකාරයෙන් බිය නොවිය යුතු බව මෝදි රජයේ සාමාන්‍ය අදහස විය. කෙසේ වෙතත් භූතාන – චීන – ඉන්දියා දේශසීමා ප්‍රදේශයේ චීනය විසින් නව මහා මාර්ගයක් තැනීම හේතුකොටගෙන 2017 දී මතු වූ උණුසුම් තත්ත්වයෙන් පසු චීනය පිළිබඳ වඩා විමසිලිමත් වීමට ඉන්දියාව කටයුතු කළේ ය.
2019 මැයි මාසයේ 5 වනදා ලදාක් හි පැංග්ලොන් විල ආසන්න ප්‍රදේශයක දෙපාර්ශවය අතර ඇති වූ උණුසුම් තත්ත්වයට හේතු වූයේ ද චීන හමුදා ඉන්දියාව අයිතිවාසිකම් කියන ප්‍රදේශයක කූඩාරම් ඉදිකිරීම පිළිබඳ වූ මතභේදයකි. මැයි 28 වනදා සිකිම් ප්‍රාන්තයේ නාතු ලා දුර්ගය ආශ්‍රිතව ද උණුසුම් තත්ත්වයක් වාර්තා වූයේ ය. එහෙත් කලකට පසු බරපතල ගැටුමක් වාර්තා වූයේ ජූනි 15 වනදා ය. එහිදී ඉන්දීය සෙබළුන් 20 දෙනෙක් මියගිය හ. චීන සෙබළුන් 43 දෙනකු මියගිය බවට ඉන්දීය ඇමතිවරයකු පැවසූ නමුත් චීනය එම අදහස ප්‍රතික්ෂේප කළේ ය.
දෙරටෙහි යුධ උණුසුම මැද චීන භාණ්ඩ වර්ජනය කිරීමේ රැල්ලක් ඉන්දියාවේ මතු වූයේ ය. මෙය ප්‍රධාන වශයෙන්ම භාරතීය ජනතා පක්ෂ ක්‍රියාකාරීන් විසින් මෙහෙයවන ලද්දකි. තත්ත්වය සමථයකට පත් කිරීම උදෙසා දෙපාර්ශවයේ හමුදා මට්ටමෙන් සාකච්ඡා ඇරඹි නමුත් දේශපාලනික වශයෙන් ශක්තිය පෙන්වීමට භාරතීය ජනතා පක්ෂයට අවශ්‍ය විය. ඉන්දීය අගමැති මෝදි සහ ඉන්පසු ආරක්ෂක ඇමති රාජ්නාත් සිං, ලදාක් හි දේශසීමා ප්‍රදේශයට සංචාරය කළේ ඒ අනුව ය. ජාතික ආරක්ෂාවට තර්ජනයක් බව පවසමින් ටික් ටොක් ඇතුළු ඇප්ස් 59 ක් තහනම් කළේ ද ඒ අනුව ය. මොස්කව් නගරයේදී ජූනි 24 වනදා දෙරටෙහි ආරක්ෂක ඇමතිවරුන් හමුවීමට සූදානම් වන බවට වූ ප්‍රවෘත්තිය ව්‍යාජයක් බව පවසමින් එම හමුව මගහැරියේ ද බොහෝ විට, එම හේතුව මත විය යුතු ය.
වර්තමාන තත්ත්වය සැලකීමේදී චීනයේ වැඩි අවධානය යොමු වන්නේ ඇමරිකාව සමග වන වෙළෙඳ ගැටුම කෙරෙහි ය. එහෙයින් ඉන්දියාව සමග වන අර්බුදය දිගට ඇදගෙන යාමට චීනයට අවශ්‍ය නොවේ. එම අර්බුදය දිග්ගැස්සීම ඉන්දියාවට ද එතරම් සුදුසු නොවේ. කොරෝනා වසංගතය හේතුවෙන් මතු වී ඇති ආර්ථික ගැටළු හමුවේ දේශපාලන ගැටුම් හටගැනීම කෙටිකාලීනව එතරම් ප්‍රශ්නයක් නොවිය හැක. සත්‍ය වශයෙන්ම, මෙවන් අර්බුද හමුවේ තද පියවර ගැනීම, රජයන් විසින් සිය ආර්ථික ගැටළු අමතක කිරීමට ජනතාවට දෙන දේශප්‍රේමී රසකැවිල්ලකි. එය කෙටි කලකට රසවත් වනු ඇත. එහෙත් දීර්ඝ කාලීනව එහි රසය පවත්වා ගැනීම අසීරු වනු ඇත.
එහෙයින් වඩා ප්‍රයෝජනවත් වන්නේ මේ ගැටළුව සාකච්ඡා මගින් විසඳා ගැනීම ය. ජනතාව වෙත දේශප්‍රේමී සටන් පාඨ පෙන්වන අතරේ ඉන්දියාව, චීනය සමග සාකච්ඡා කරන්නේ එහෙයිනි.
