
සෞදි අරාබියේ රැකියාවට නිරතව සිටි, සිය රැකියා කොන්ත්‍රාත් කාලය අවසන් කළ ශ්‍රමිකයන් දහස් ගණනක් යලි මෙරටට පැමිණීමට නොහැකිව දැඩි දුෂ්කරතාවන්ට මුහුණ පා සිටින බව වාර්තා වේ.
ජිද්දා නගරයේ පිහිටි ශ්‍රී ලංකා කොන්සල් කාර්යාලයෙහි පමණක් යළි ශ්‍රී ලංකාවට පැමිණීමට ලියාපදිංචි වී සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් සංඛ්‍යාව 4000 කට අධික බව වාර්තා වේ. ඔවුන්ගෙන් 1000 කට අධික සංඛ්‍යාවකට ආපසු පැමිණීමේ අවසරයද (Exit) ගමන් බලපත්‍රවල සටන් කර ඇති බව සඳහන්.
සෞදි ආරබියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පිහිටා ඇත්තේ රියාද් නගරයේ වන අතර එහි ලියාපදිංචි සංඛ්‍යාව මීටත් වඩා අධික බවද ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ අතරින් ඉහළ සමාගම්වල, ඉහළ මට්ටමේ රැකියාවල නිරත වූ සේවකයන්ට නවාතැන් පහසුකම් හා ආහාර ඇතුළු පහසුකම් අදාල සමාගම් විනින් ලබා දී තිබෙන නමුත් බහුතරයක් සිටින්නේ කිසිදු ආදායමක් හෝ නොමැතිවයි. එම ඇතැම් පුද්ගලයන් ඔවුන්ගේ වියදම් හෝ දරාගත නොහැකිව ඉතාම අසරණ තත්වයට පත්ව සිටී.
ශ්‍රමිකයන් මේ සම්බන්ධයෙන් කොන්සල් කාර්යාලයෙන් සිදුකළ විමසීමකදී නිළධාරීන් සඳහන් කර ඇත්තේ විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් නැවත ගෙන්වීම තාවකාලිකව අත්හිටුවීමට රජය තීරණය කර ඇති නිසා මෙම තත්වය උද්ගත වී ඇති බවයි. මැතිවරණය අවසන් වනතුරු හෝ ඔවුන්ට ආපසු ශ්‍රී ලංකාවට යාහැකි දිනයක්වත් ප්‍රකාශ කිරීම අපහසු බවද එම නිළධාරීන් පවසා තිබෙනවා.
කෙසේ වෙතත් ශ්‍රමිකයන් චෝදනා කරමින් කියා සිටින්නේ තානාපති කාර්යාල නිළධාරීන් තමන්ව ශ්‍රී ලංකාවට යැවීමට සඳහා ප්‍රමාණවත් මැදිහත්වීමක් සිදු නොකරන නිසා මෙම තත්වය උද්ගත වී ඇති බවයි.
වාර්ෂිකව අතිවිශාල විදෙස් විනිමය ප්‍රමාණයක් උපයා දෙන විදෙස්ගත ශ්‍රමිකයන් අසරණව සිටියදී ඔවුන් මව්බිමට ගෙන්වා ගැනීම සඳහා බලධාරීන් උපරිමයෙන් ක්‍රියාත්මක නොවීම අතිශයින්ම ඛේදජනකය.
මෙම තත්වයට මුහුණ දී දැනට සෞදි ආරාබියේ සිටින ශ්‍රී ලාංකිකයෙකු ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ පළකළ සටහනක් පහතින් දැක්වේ.





