ඉක්වදෝරයේ හිටපු ජනාධිපති අට වසරකට බන්ධනාගාරයට

ඉක්වදෝරයේ හිටපු ජනාධිපති රෆායල් කොරෙයාට එරෙහිව වූ අල්ලස් චෝදනාවක් පිළිබඳ අභියාචනය එරට ජාතික යුක්ති අධිකරණය විසින් නිශ්ප්‍රභ කෙරුණා.ඒ අනුව ඔහුට නියම වූ වසර අටක සිර දඬුවම අධිකරණය විසින් තහවුරු කරනු ලැබුණා.

කොරෙයාට හා තවත් 17 දෙනකුට එරෙහි නඩුවේ මුල් තීන්දුව ලබා දී තිබුණේ අප්‍රේල් මාසයේයි. කොරෙයා අල්ලස් ලබාගෙන ඒවා මැතිවරණ ප්‍රචාරක කටයුතු උදෙසා යොදාගත් බවයි චෝදනා එල්ල වී තිබුණේ.කොරෙයා නඩු විභාගයන් සඳහා සහභාගී වූයේ නැහැ. ඔහු දැනට ජීවත් වන්නේ බෙල්ජියමේ යි. අධිකරණ තීන්දුව පිළිබඳ ඔහු සිය ට්විටර් ගිණුම ඔස්සේ ප්‍රකාශ කළේ එය තමා බලාපොරොත්තු වූවක් බවයි.

තමන්ව දේශපාලනයෙන් ඉවත් කිරීමට කළ කුමන්ත්‍රණයක් ලෙස ඔහු මෙම ක්‍රියාව හඳුන්වා දුන්නා.වාමාංශික නායකයකු ලෙස ප්‍රකට වී සිටින කොරෙයා 2007-2017 සමයේ ඉක්වදෝරය පාලනය කළා. එකල ඔහු විකිලීක්ස් නිර්මාතෘ ජුලියන් අසාන්ජ්ට ලන්ඩනයේ ඉක්වදෝර් තානාපති කාර්යාලයේ දේශපාලන රැකවරණ ලබා දුන්නා. ඔහුට පිට පිට දෙවතාවකට වඩා ජනාධිපති ධුරයට පත් වීමට හැකියාවක් වූයේ නැහැ.ඔහුගේ උප ජනාධිපති වූ ලෙනින් මොරේනෝ 2017 ජනාධිපතිවරණය ජයගෙන බලයට පත් වූ අතර ඉන්පසු කොරෙයාගේ බොහෝ ප්‍රතිපත්ති මොරේනෝ විසින් වෙනස් කෙරුණා. අසාන්ජ්ට ලබා දුන් දේශපාලන රැකවරණ අහෝසි කිරීම එයින් එකක්.කොරෙයාට නැවත ජනාධිපතිවරණයකට ඉදිරිපත් විය හැකි නමුත් මෙම නඩු තීන්දුව හේතුවෙන් ඔහුට වසර 25 කට මැතිවරණ සඳහා ඉදිරිපත් වීම තහනම් වනවා.

චාමර සුමනපාල

Recommended For You

About the Author: Editor