
කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ මුහම්මදු මුහම්මදු හස්තුන්ගේ බිරිඳ වන සාරා 2019 සැප්තැම්බර් මාසයේ මුහුදු මාර්ගයකින් ඉන්දියාවට පැන ගොස් ඇතැයි, අද ඒ පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ අනාවරණය විය.
ඒ 2019 අප්‍රේල් 21 ප්‍රහාරය පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිසම ප්‍රධාන පොලිස් පරීක්ෂක අර්ජුන මහීන්කන්ද මහතා අද කොමිසම හමුවේ කළ ප්‍රකාශයෙනි.
මීගමුව කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයට මරාගෙන මැරෙන බොම්බ ප්‍රහාරයක් එල්ල කරනු ලැබූ මුහම්මදු මුහම්මදු හස්තුන්ගේ බිරිඳ වන සාරා හෙවත් පුලස්තිනි රාජෙන්ද්‍රන් අප්‍රේල් 21 ප්‍රහාරයට සම්බන්ධ අයෙකු ලෙස සැලකෙයි.
ඇය පිළිබඳව කළ විමර්ශන ගැන අප්‍රේල් 21 ප්‍රහාරය පිළිබඳව සොයා බලන ජනාධිපති කොමිසමේ විමර්ශන අංශයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක අර්ජුන මහීන්කන්ද අද ප්‍රකාශක් කළේ ය.
එම ප්‍රකාශයෙන් කියවුණේ, 2019 අප්‍රේල් 26 වැනිදා සයිදුමරිදු ප්‍රදේශයේ බෝම්බ පුපුරුවාගත් නිවස තුළදී සාරා මිය යන්නට ඇති බවට විස්වාස කළ බවයි.
නමුත් පසුගිය ජුලි 06 වෙනිදා තොතුරු ලබාදෙන්නෙකු තමන් වෙත කළ දැණුම් දීම අනුව ඇය මිය ගොස් නැති බවත් පළා ගොස් සැගව සිටින බවටත් තොරතුරු ලැබුණු බව අර්ජුණ මහීන්කන්ද ප්‍රකාශ කළේ ය.
ඔහු පැවසුවේ, ඇය කලවන්චිකුඩි ප්‍රදේශයේ මංකාඩු ගමේ සැඟව සිටි බවට තොරතුරු ලැබුණු බවයි.
එම තොරතුර ලැබීමෙන් පසු තමන් මඩකලපුව ප්‍රදේශට ගිය බවත් එහිදී හමුවූ අයකුගෙන් ඇය පිළිබඳව තවත් තොරතුරු ගණනාවක් අනාවරණ කරගැනීමට හැකිවු බවත් මහීන්කන්ද මහතා ප්‍රකාශ කළේ ය.
2019 සැප්තැම්බර් මාසයේ දවසක අලුයම 3.00 ට පමණ මන්කාඩු ප්‍රදේශයේ කැබ්රථයක් නවතා තිබෙණු තමන් දුටු බවත් සාරා බවට සැක කරන කාන්තාව හා තවත් පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු ඊට ගොඩවූ බවත් අදාළ පුද්ගලයා ප්‍රකාශ කර තිබිණ.
එම කැබ් රථයේ ඉදිරි වම්පස අසුනේ කලවන්චිකුඩි පොලීසියේ රථවාහන අංශයේ පොලිස් ස්ථානාධිපති අබු බකර් ද එහි සිටි බව ඔහු ප්‍රකාශ කළ බවත් මහීන්කන්ද මහතා පැවසී ය.
සාරාට එසේ පලායාමට උපකාර කර ඇත්තේ දැනට සිරබාරයේ පසුවන සාරාගේ මාමා කෙනෙකු හා මේ වන විට පිටරටක වෙසෙන ඔහුගේ සහෝදරයා බව ද කොමිසමේදී ප්‍රකාශ විය.