
මහවැව පොලිස් මාර්ග බාධකයේදී පුද්ගලයකුගෙන් රුපියල් අනූදෙදහසක මුදලක් කොල්ල කෑම සම්බන්ධයෙන් උප පොලිස් පරීක්ෂකවරයකු සහ පොලිස් කොස්තාපල්වරයකු මාරවිල පොලිසිය විසින් ඊයේ (21 වැනිදා) අත්අඩංගුවට ගෙන ඇත.
මාරවිල පොලිසියට අනුයුක්තව සේවය කරන පොලිස් නිලධාරින් දෙදෙනකු මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.
පසුගිය 20 වැනිදා මාරවිල පොලිසියට අනුයුක්තව සේවය කරන පොලිස් නිලධාරින් තිදෙනකු මහවැව පොලිස් මාර්ග බාධකයේ සේවයේ නිරතව ඇත. උප පොලිස් පරීක්ෂකවරයකු සහ පොලිස් කොස්තාපල්වරයකු ඒ අතර විය.
මීගමුව පෙරියමුල්ල ප්‍රදේශයේ පදිංචි අයකු යතුරුපැදියකින් මීගමුවේ සිට හලාවත දෙසට ගමන් කරමින් සිටින විට මහවැව පොලිස් මාර්ග බාධකයේ ගැටී එහි තිබූ විදුලි පහනකට හානි සිදුවී ඇත. පසුව එම පුද්ගලයා එම විදුලි පහන ගෙනැවිත් සවිකර දී ඇත.
එම අවස්ථාවේදී මාර්ග බාධකයේ රාජකාරියේ යෙදී සිටි උප පොලිස් පරීක්ෂකවරයා යතුරපැදිකරුගෙන් මුදල් ඉල්ලා ඇත. නමුත් තමන් අත මුදල් නොමැති බව ඔහු පවසා ඇත. එමෙන්ම අනතුර සිදුවන අවස්ථාවේ තමන් සතුව තිබූ වෙනත් අයෙකුට අයත් රුපියල් අනූදෙදහසක මුදලක් අස්ථානගත වී ඇති බැවින් එම මුදල ආපසු ලබාදෙන ලෙස ඉල්ලා ඇත. ඊට ප්‍රතිචාර ලෙස උප පොලිස් පරීක්ෂකවරයා විසින් එම පුද්ගලයාට බැණ වැදී පහර දීමක් සිදුකර ඇත.
පහර කෑ පුද්ගලයා මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කිරීමට සූදානම් වන බව දැනගෙන මාර්ග බාධකයේ සිටි පොලිස් කොස්තාපල්වරයකු මේ බව මාරවිල පොලිසියේ මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාට දැනුම් දී ඇත. තමන් එපා කියද්දී රුපියල් දෙදහසක මුදලක් උප පොලිස් පරීක්ෂකවරයා විසින් ලබාදුන් බව පවසා එම මුදල මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා වෙත භාර දීමට ද අදාළ පොලිස් කොස්තාපල්වරයා කටයුතු කර ඇත.
මාරවිල මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා විසින් මේ බව හලාවත කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාට දැනුම් දී ඇත. ඒ අනුව සැකකාර උප පොලිස් පරීක්ෂකවරයා සහ පොලිස් කොස්තාපල්වරයා අත්අඩංගුවට ගෙන ඇත. මාරවිල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.