
රජය ලබා දුන් විශේෂ අවසරයක් සමග ඉදිකිරීම් අංශයේ කොන්ත්‍රාත්කරුවන් සහ සැපයුම්කරුවන් සහන පොළියට ණය ලබා ගැනීම සඳහා රුපියල් බිලියන 18කට ආසන්න වටිනාකමකින් යුත් ණය අයැදුම්පත් ඉදිරිපත් කර ඇත.
ශ්‍රී ලංකා මහ බැංකුව පසුගිය ජුනි 26 වැනිදා විශේෂ ණය යෝජනා ක්‍රමයක් හඳුන්වා දුන් අතර මෙලෙස අයැදුම්පත් ඉදිරිපත් කර ඇත්තේ එම වැඩසටහන යටතේය.
මෙම ණය යෝජනා ක්‍රමයට අනුව රජයෙන් පියවිය යුතු හිඟ බිල්පත් ඇති කොන්ත්‍රාත්කරුවන්ට සහ සැපුයම්කරුවන්ට වාණිජ බැංකුවලින් 4%ක සහන පොලී අනුපාතයක් යටතේ ණය නිකුත් කරනු ලැබේ. අදාළ ණය අයැදුම්කරුවන්ට මුදල් අමාත්‍යාංශය විසින් ‘කොන්ත්‍රාත්කරුවන් වෙනුවෙන් ගෙවිය යුතු ගෙවීම් පිළිගැනීමේ ලිපියක්’’ නිකුත් කරන අතර එම ලිපිය සලකා බලමින් වාණිජ බැංකු විසින් අදාළ ණය අයැදුම්කරුවන්ට ණය නිකුත් කළ යුතුය. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් වාණිජ බැංකු මගින් ලබා දෙන ණය මුදල් බැඳුම්කර සහ භාණ්ඩාගාර බිල්පත් ඔස්සේ ප්‍රතිමූල්‍ය කරණය (ආපසු ගෙවීම) සිදු කරනු ලැබේ.
මුදල් අමාත්‍යාංශය අනාවරණය කරන ආකාරයට මාර්ග හා මහාමාර්ග, නාගරික සංවර්ධන, ජලසම්පාදන හා නිවාස පහසුකම්, සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා, ධීවර හා ජලජ සම්පත් යන අමාත්‍යාංශ, කෘෂිකර්ම හා ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවල ඉදිකිරීම් කටයුතුවලට සම්බන්ධව කටයුතු කළ කොන්ත්‍රාත්කරුවන්ගෙන් සහ සැපයුම්කරුවන්ගෙන් පසුගිය ජුලි 16 වැනිදා එන විට මෙලෙස අයැදුම්පත් ඉදිරිපත් කර තිබේ. එම ණය අයැදුම්පත්වල සම්පූර්ණ වටිනාකම රුපියල් බිලියන 17.29කි.