‘රාජ සභාව’ජනප්‍රවාදයක් පමණයි -පුරාවිද්‍යාව

කුරුණෑගල රාජ සභා මණ්ඩපය බුවනෙකබාහු රජුට සම්බන්ධ බවට ජනප්‍රවාදයේ පැවැතියත් ලිඛිත සාධක නැති බව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය සෙනරත් දිසානායක පැවසුවේය.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ඊයේ (21වැනිදා) පැවැති මාධ්‍ය හමුවක දී අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ බව කීවේය. පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය සෙනරත් දිසානායක මෙම මාධ්‍ය හමුවේදී මෙසේ ද කියා සිටියේය.

“මීට පෙරත් එක සිද්ධියක් වුණා ඉකුත් 06 වැනිදා. මාර්ග සංවර්ධන අධිකාරිය විසින් එදින මාර්ගය පුළුල් කිරීමේදී පැරණි බුවනෙක හෝටලය නමින් හඳුන්වන හෝටලයේ කාණුවකට හානි කර තිබුණා. මීට පසුව තමයි මෙම ගොඩනැගිලි විනාශවීමේ බරපතළ සිද්ධිය වාර්තා වුණේ. ඒක රාත්‍රී කාලයේ වෙලා තියෙන්නේ. ඒ පිළිබඳව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට හෝ කිසිම ආයතනයකට වාර්තා කර හෝ දැනුම්දීමක් කර තිබුණේ නෑ. අගමැතිවරයාට බාරදීමට නියමිත මූලික වාර්තාව සකස් කිරීමේ දී පැහැදිලි කරගතයුතු කරුණු ගණනාවක් තිබෙනවා. මෙය බුවනෙකබාහු රජුට සම්බන්ධ බවට ජනප්‍රවාදයේ තිබෙනවා. නමුත්, මහාවංශයේවත් වෙනත් කිසිම ලිඛිත සාධකයක් නෑ. සිද්ධියට සම්බන්ධ සියලු පාර්ශ්ව හඳුනාගත යුතුයි. සීගිරියේ සිංහ පාදයට හානිකළ සිද්ධියට වඩා සංකීර්ණ සිද්ධි දාමයක් මෙහි තිබෙනවා.”යැයි පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා කීවේය.

Recommended For You

About the Author: Editor