
අනුරාධපුර ශික්ෂණ රෝහලේ ගිණුම් අංශයේ කාන්තා වැසිකිළියේ සී.සී.ටී.වී කැමරාවක් සවිකර එහි දර්ශන රූගත කිරීමේ සිද්ධියට චෝදනා ලැබ සිටින සැකකාර වෛද්‍යවරයාට එරෙහි නඩුව ලබන 29දා මුල් වරට විභාගයට ගැනීමට අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු ජනක ප්‍රසන්න සමරසිංහ නියෝග කළේය. මෙම සැකකාර වෛද්‍යවරයාට එරෙහිව මීට පෙර අනුරාධපුර මූලස්ථාන පොලිසියේ නඩු කටයුතු මෙහෙයුම් අංශය අධිකරණය හමුවේ නඩු පවරනු ලැබීය.
සැකකාර වෛද්‍යවරයා විසින් එම කාන්තා වැසිකිළියේ සවි කර තිබියදි පොලිස් බාරයට ගෙන තිබු සි.සි.ටී.වී. කැමරාවේ දත්ත කොළඹ බන්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ හදිසි ප්‍රතිචාර සංසදයේ මෙහෙයුම් කළමනාකරුට යවා ඒ සම්බන්ධයෙන් වාර්තාවක් අධිකරණයට කැඳවන්නැයි මීට පෙර අධිකරණය පොලිසියට නියෝග කර තිබූ අතර එකී නියෝගයට අනුව අදාළ වාර්තාද මේ වන විට පොලිසිය මගින් අධිකරණයට ඉදරිපත් කර තිබේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය හමුවේ චෝදනා ලැබ සිටින්නේ කටුබැද්ද, රෝලි ප්‍රනාන්දු මාවත ලිපිනයේ පදිංචි 27 හැවිරිදි විවාහක වෛද්‍යවරයෙකි. ඔහු අනුරාධපුර ශික්ෂණ රෝහලේ 30 වන වාට්ටුවේ සේවය කරමින් සිටියදී මෙම වරද සිදු කර ඇති බවට අධිකරණය හමුවේ චෝදනා එල්ල වී තිබේ.