බුවනෙකබාහු රාජ සභාව කඩා දැමීම ගැන කමිටු වාර්තාව අගමැතිට

කුරුණෑගල බුවනෙක හෝටලය පවත්වාගෙන ගිය පෞරාණික ගොඩනැගිල්ල විනාශ කිරීම පිළිබඳව සොය බැලීමට පත්කල කමිටුවේ වාර්තාව අගමැති මහින්ද රාජපක්ෂ මහතාට භාර දී තිබේ.

එම වාර්තාවෙන් පහත සඳහන් යෝජනා ඉදිරිපත්කර ඇත.

01) ගොඩනැගිල්ලේ ඉදිරිපස කොටසේ හානි සිදුවී ඇත්තේ පියස්සේ කොටසකට හා ජනේලවලට බැවින් එම කොටස් පුරාවිද්‍යාත්මකව සංරක්ෂණය කිරීමේ හැකියාව ඇත.
මුළුමනින්ම විනාශ වී ඇති පිටුපස කොටසේ දැව බාල්ක හා ගඩොළු ඇතුළු ගොඩනැගිලි ද්‍රව්‍ය සුරක්ෂිතව ඇත. එම නිසා මීට පෙර පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් විස්තරාත්මක ලෙස වාර්තාගත කර ඇති නිසා සහ සංරක්ෂණ සැලසුම් සකස්කර ඇති නිසා එම පැරණි කොටස නැවත යථාවත් කිරීමේ හැකියාව පවතියි. එබැවින් පැරණි ගොඩනැගිල්ල කඩිනමින් සංරක්ෂණය කළ යුතුය.

02) මෙම ගොඩනැගිල්ල පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව වෙත පවරා ගැනීම.

03) මෙම ස්ථානය පුළුල් කිරීමේ සැලැස්ම සංශෝධනය කරන ලෙස මාර්ග සංවර්ධන අධිකාරියට යෝජනා කිරීම.

04) මෙම විනාශයට වගකිව යුත්තන්ට නීතිමය පියවර ගැනීම.

05) විනාශයට වගකිව යුතු ආයතන හෝ පුද්ගලයන් මගින් සංරක්ෂණය සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ලබා ගැනීම.

පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සම්මානිත මහාචාර්ය ටී. ජී. කුලතුංග, කුරුණෑගල අතිරේක දිස්ත්‍රික් ලේකම් ජී. ඒ. කිත්සිරි, මධ්‍යම සංස්කෘතික අරමුදලේ වැඩබලන සංවර්ධන අධ්‍යක්ෂ වාස්තු විද්‍යාඥ සුමේධා මාතොට , බුද්ධ ශාසන සංස්කෘතික සහ ආගමික කටයුතු අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ පුරාවිද්‍යාඥ ප්‍රසාද් රණසිංහ යන මහත්ම මහත්මීහු අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් පරිදි බුද්ධ ශාසන සහ සංස්කෘතික කටයුතු ලේකම්වරයා විසින් පත්කළ මෙම කමිටුවේ සාමාජිකයෝ වූහ.

Recommended For You

About the Author: Editor