ගෝඨාභය දිනෙව්වේ වරාය රකින්න මිසක් විකුණන්න නෙවෙයි – සංජය කුමාර

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ මෙහෙයුම් ශ්‍රී ලංකා වරාය අධිකාරිය යටතේ කඩිනමින් ආරම්භ කිරීමට පියවර ගන්නැයි රජයට බල කරමින් අද නැවත වතාවක් වරාය වෘත්තීය සමිති විරෝධතාවයක් ආරම්භ කළහ.
ඔවුන් අවධාරණය කරන්නේ කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට ලබා දීමට අදාළ ක්‍රියාවලිය රජය තවම හකුළාගෙන නොමැති බවයි.

”අපි විශ්වාස කරන්නේ මේක විකුණන්නම තමයි ලෑස්ති කරගෙන යන්නේ. ඒකට පසුබිම තමයි මේ නිර්මාණය කරන්නේ. ඒකට විරුද්ධව වරාය සේවකයන් අද විරෝධතාවයක් පවත්වා ඉන් අනතුරුව සතියක් කලුපටි බැඳගෙන වැඩ කරනවා. ඒ කාලය තුළ යහපත් ප්‍රතිචාරයක් නැතිනම් අපි යළි වර්ජනයකට යනවා” යැයි පොදු ජන පෙරමුණට අනුබද්ධ වාණිජ, කර්මාන්ත හා සේවා ප්‍රගතිශීලි සේවක සංගමයේ සභාපති හා නැගෙනහිර පර්යන්තය සුරැකීමේ වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු සංජය කුමාර වැලිගම පැවසීය.

වරාය වෘත්තීය සමිතිවල ඉල්ලීම මත පුජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියෝ ද විරෝධතාව පැවති ස්ථානයට වැඩම කළහ.

”වරාය කියන්නේ අපේ ජාතියේ හදවත බඳු සම්පතක්. ඒ සම්පත් ගැන මම පහුගිය කාලේ දිගටම කතා කළා. ඒ කතා කරලා තමයි සීයට හැට ගාණකින් ඡන්ද අරන් දුන්නේ. ඒ අරං දීලා ගෝඨාභය රාජපක්ෂ බලයට පත් කළේ මේවා රකින්න මිසක් විකුණන්න නෙමෙයි. අපි කැමති නෑ බොහොම දුක් විදලා හදපු ආණ්ඩුවක් යටතේ මේ තත්ත්වය වෙනවට” යනුවෙන් වරාය සේවකයන් හමුවූ අවස්ථාවදී පුජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියෝ පැවසුහ.

Recommended For You

About the Author: Editor