
කොවිඩ් වයිරසයේ තර්ජනය නැවත මතුවීමත් සමග තාවකාලිකව ගුවන් ගමන් අත්හිටුවනු ලැබූවද තෝරාගත් මගීන්ට ශ්‍රී ලංකාවට පැමිණීමට රජය අවසර ලබාදී ඇත. විදේශ කටයුතු පිළිබඳ ජනාධිපති අතිරේක ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ පවසන්නේ රාජ්‍ය තාන්ත්‍රිකයන්, අන්තර්ජාතික සංවිධානවල නිලධාරීන්, ආයෝජන මණ්ඩලයට අදාළ පුද්ගලයන්, නාවිකයන් සහ හමුදා නිලධාරීන්ට නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට හැකිවන පරිදි සීමිත ගුවන් ගමන් වෙනුවෙන් අවසර ලබාදී ඇති බවයි.
ධුර කාලය අවසන් කර ආපසු පැමිණෙන ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රිකයන්, ශ්‍රී ලංකාවේ ස්ථානගත කර ඇති විදේශ තානාපතිවරුන්, නෞකාවලින් පිටත්ව යන නාවිකයන් සහ හමුදා සාමාජිකයන් ජාත්‍යන්තර සංවිධාන සහ දේශීය ව්‍යාපෘතිවල නියුතු ආයෝජන මණ්ඩල ව්‍යාපාරවල සේවකයන් මෙම පිරිසට ඇතුළත් වෙන බව ජනාධිපති අතිරේක ලේකම්වරයා සඳහන් කළේය.
කොවිඩ් වසංගතය හේතුවෙන් මෙරටට ශ්‍රී ලාංකිකයන් ගෙන්වා ගැනීමේ වැඩසටහනට මෙම ගුවන් ගමන් අයත් නොවන බව සඳහන් කරන අතිරේක ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ වයිරසය නැවත ව්‍යාප්තිය හේතුවෙන් පසුගිය ජූලි 15 වැනිදා මෙරටට මගීන් රැගෙන එන ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීමට රජය තීරණය කළ බවයි.