ආරක්ෂක රාජ්‍ය තාන්ත්‍රිකභාවය ගැන ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර සහයෝගිතාව ශක්තිමත් වෙමින් පවතී – ආරක්ෂක ලේකම්

දුෂ්කර කාලවලදී පාකිස්තානය ලබා දුන් සහයෝගය ශ්‍රී ලාංකිකයන්ට කිසිදා අමතක නොවන බවත්,පාකිස්තානය ශ්‍රී ලංකාව වෙනුවෙන් පෙනී සිටියේ, සනාථ නොකළ මානව හිමිකම් චෝදනා රටට එල්ල වූ විට බවත්,ලබන වසරේ සිට ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂක විද්‍යාලයේ පාකිස්තාන හමුදා නිලධාරීන්ට වැඩි අවස්ථාවන් ලබා දීමට සැලසුම් කර තිබෙන බවත් ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා පැවසීය.

බටලන්ද ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ (ඩී.එස්.සී.එස්.සී.) පැවති, පාකිස්තානයේ ක්වේටා හි පකිස්ථාන අණ හා මාණ්ඩලික විද්‍යාලයේ (පීසීඑස්සී) ශත සංවත්සර‟ ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් ගුණරත්න මහතා තව දුරටත් අදහස් දක්වමින් පැවසුවේ,දෙරට අතර දේශපාලන, ආර්ථික, සංස්කෘතික හා අධ්‍යාපනික සබඳතා මත ගොඩනැඟුණු අන්‍යෝන්‍ය විශ්වාසය තුළින් ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ආරක්ෂක රාජ්‍ය තාන්ත්‍රිකභාවය හා පැවති සහයෝගීතාව ශක්තියෙන්  වර්ධනය වන බවයි.

2015 දී බටලන්ද ඩී.එස්.සී.එස්.සී. හි ශිෂ්‍ය නිලධාරියෙකු ලෙස කටයුතු කළ, පාකිස්තාන මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක අනුයුක්ත කර්නල් සජ්ජාඩ් අලි විසින් පිළිගැනීමේ දේශනය පවත්වන්නට යෙදිණ.

ක්වේටා හි ගෞරවනීය පීසීඑස්සී උපාධිය ලබා ඇති ශ්‍රී ලංකා හමුදා නිලධාරීන් තිස් හත් දෙනෙකුට මෙම අවස්ථාවට “ශත සංවත්සර පදක්කම්” පිරිනමන ලද අතර පීසීඑස්සී උපාධිධාරීන් අතර නිලධාරීන් 10 දෙනෙකු තවමත් නිලයේ සේවය කරන අතර 27 දෙනෙකු හමුදා සේවයෙන් විශ්‍රාම ගොස් ඇත.මෙහිදී පීසීඑස්සී හි ආදි ශිෂ්‍යයෙකු වන ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් ගුණරත්නට පාකිස්තාන මහ කොමසාරිස් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) මුහම්මද් සාද් ඛට්ටක් විසින් පදක්කම් ප්‍රදානය කරන ලදී.

මෙම අවස්ථාවට වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ ශ්‍රී ලංකා යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ෂවේන්ද්‍ර සිල්වා, ගුවන් හමුදාවේ අණදෙන නිලධාරී එයාර් මාෂල් සුමංගල ඩයස්, බටලන්ද ඩී.එස්.සී.එස්.සී. හි අණදෙන නිලධාරී මේජර් ජෙනරාල් ප්‍රභාත් දෙමටපිටියා සහ ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් කිහිප දෙනෙක් ද සහභාගී වූහ

නිශ්මං රණසිංහ

Recommended For You

About the Author: Editor