කළුතර හා හෝමාගම රෝහල් ශික්ෂණ රෝහල් කරයි

කළුතර මහ රෝහල සහ හෝමාගම මූලික රෝහල ශික්ෂණ රෝහල් වශයෙන් උසස් කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබුණු බව සම කැබිනට්  ප්‍රකාශක, තොරතුරු සහ ජනමාධ්‍ය, උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. 

මොරටුව විශ්ව විද්‍යාලයේ ස්ථාපනය කිරීමට සැලසුම් කෙරෙමින් පවතින වෛද්‍ය පීඨයේ අධ්‍යයන කටයුතු කඩිනමින් ආරම්භ කිරීමට රජය අපේක්ෂා කරන අතර, එහි මහාචාර්ය ඒකකය කළුතර මහ රෝහලේ පිහිටුවීමටත්, සායනික පුහුණුව හෝමාගම මූලික රෝහලේදී ලබාදීමටත් හැකි වන පරිදි එම රෝහල් මෙසේ ශික්ෂණ රෝහල් වශයෙන් උසස් කිරීමට නියමිත බවද ඇමැතිවරයා සඳහන් කරයි.  

සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය සේවා ඇමතිනී පවිත්‍රා දේවි වන්නිආරච්චි මහත්මිය මේ සම්බන්ධ යෝජනාව අනුමැතිය සඳහා කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබූ බවත් ඇමැතිවරයා පවසයි.  ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව පැවැසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද(23) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ය.  

හෝමාගම මූලික රෝහල කොවිඩ් ආසාදිතයින්ට ප්‍රතිකාර කෙරෙන රෝහලක් බවට පත්කර ඇති බව පැවසූ ඇමැතිවරයා, ඒ හේතුවෙන් එම රෝහලෙන් ප්‍රතිකාර ලබා ගැනීමට සාමාන්‍ය ජනතාවට අවස්ථාව අහිමි වුවද ඔවුන් එයට විරෝධය නොදක්වා දැඩි සංයමයකින් යුතුව ඉවසා සිටි බවත්, එබැවින් එම රෝහල ශික්ෂණ රෝහලක් බවට පත්වීම එම ජනතාව ලද භාග්‍යයක් බවත් ඇමැතිවරයා මෙහිදී සඳහන් කළේය. එසේම, හෝමාගම සහ කළුතර රෝහල් වෙත පහසුවෙන් පැමිණීම සඳහා අවශ්‍ය ප්‍රවේශ පහසුකම් ද රජය මඟින් සලසා ඇති බැවින්, එම රෝහල් ශික්ෂණ රෝහල් බවට පත් වීම නිසා ජාතික රෝහල සහ කළුබෝවිල ශික්ෂණ රෝහලේ පවතින තදබදයට විසඳුම් ලැබෙන බවද පෙන්වා දුන්නේ ය.  

Recommended For You

About the Author: Editor