
දේශීය නාට්‍ය ප්‍රදර්ශනයේ මහගෙදර වැනි ලුම්බිණි රඟහල නවීන පහසුකම් සහිතව ප්‍රතිසංස්කරණය කිරීමට කටයුතු කරන බව උසස් අධ්‍යාපන, තාක්ෂණ, නවෝත්පාදන සහ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ඇමැති, සම කැබිනට් ප්‍රකාශක, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කරයි.
ලාංකීය නාට්‍ය හා ප්රසාංගික කලා ක්ෂේත්‍රයේ සුවිශේෂී කේන්ද්‍රස්ථානයක් වන කොළඹ 05 පිහිටි ලුම්බිණි රඟහල නවීන පහසුකම් සහිතව ප්‍රතිසංස්කරණය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වූ අතර, එම කටයුතු කඩිනමින් ක්‍රියාත්මක කිරීමට රජය සැලසුම් කර ඇති බවද ඒ මහතා පවසයි.
මෙම ලුම්බිණි රංග ශාලාව ශ්‍රී ලාංකීය නාට්‍ය කලාවේ මෙන්ම ගෘහස්ත ගීත ප්‍රසංග ඇතුලු ප්‍රාසාංගික කලාවන්ගේ නියුතු පුරෝගාමී කලාකරුවන් විසින් සිය පුහුණු වීම් හා මංගල දර්ශනයන් සඳහා ප්‍රමුඛස්ථානයේ ලා තෝරා ගනු ලැබූ සුවිශේෂී රඟහලක් ලෙස ඉතිහාසගත වී ඇත. නමුත් ලුම්බිණි රංග ශාලාව 1952 තරම් ඈත කාලයක දී ඉදිකරන ලද්දක් වන අතර මෙතෙක් එහි නිසි නවීකරණ කටයුත්තක් ක්‍රියාත්මක වී නොමැත.
වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් 2014 වර්ෂයේ දී මෙම අවශ්‍යතාව හඳුනා ගෙන ලුම්බිණි රඟහලේ නවීකරණ කටයුතු සඳහා ප්‍රතිපාදන වෙන්කරන ලද නමුත් පසුගිය වකවානුවේ දී මෙම ඉදිකිරීම් කටයුතු ක්‍රියාත්මක නොවූ බව ඇමැතිවරයා කියා සිටියේය. එම අවස්ථාවේ දී මෙම ප්‍රතිසංස්කරණ කටයුතුවලට අදාළ සැලසුම් සකස් කරන ලද්දේ මොරටුව විශ්ව විද්‍යාලයේ හා නාට්‍ය හා රංග කලා ක්ෂේත්‍රයේ විද්වතුන්ගේ දායකත්වය සහිතව බව පෙන්වා දුන් ඇමැතිවරයා මෙතෙක් ක්‍රියාත්මක නොවූ එම කටයුතු ආරම්භ කිරීම සඳහා අදාළ යෝජනාව නාගරික සංවර්ධන, ජල සම්පාදන හා නිවාස පහසුකම් විෂය භාර ඇමැතිවරයා වශයෙන් අගමැතිවරයා විසින් පසුගියදා පැවති අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලද බව වැඩිදුරටත් ප්‍රකාශ කළේය.