සත්‍ය උතුර සහ චුම්බක උතුර

මාලිමාවේ මුහුණත මත දෑස් අලවාගෙන සත්‍ය උතුර සහ චුම්බක උතුර අතර ගැප් එක හමුවේ අහෝමඤ්ඤං වී සිටිනා මිතුරනි. ඔබේ bandwagon එකට ගොඩ නොවී, විනාඩි කිහිපයක් මම මෙසේ ඔබ සමග නොදුරු නොළං දුරකින් ගමන් කරමි. මහින්ද රාජපක්ෂ යනු මගේ ජීවිත කාලය තුළ මා දුටු අතිදක්ෂම දේශපාලකයා ය. ඇත්ත වශයෙන්ම populism යනු දේශපාලන දර්ශනයක් නොව performance art එකකි. ලංකාව වැනි නිෂ්පාදන ෆේල් වූ, සේවා සම්පාදනය ෂෝට් කට් වූ, වංගු ආර්ථිකය මේන්ස්ට්‍රීම් වූ රටක ලක්ෂ හැට හුටහමාරක් වසඟ කරන ආකාරයට perform කිරීම ලේසි නැත.

අනගාරික ධර්මපාලගෙන් බණ්ඩාරනායකට උරුම වී, බණ්ඩාරනායකගෙන් රාජපක්ෂට උරුම වූ ඒ performance art උරුමයේ මහා කලාකරුවා මහින්ද රාජපක්ෂ ය. ඔහු අප අතරින් වියෝ වී, ඔහුගේ පුරාවෘත්තය ඔහුගේ හෝ දිලිත් ජයවීර මහතාගේ හෝ කට්ට ඇනුණු නංගීගේ හෝ (පසුව සඳහන් කළ දෙදෙනාම සංකේතාත්මක ය) දායකත්වයෙන් තොරව හැදෙන්නට පටන් ගන්නා යුගයක් කවදා හෝ එළඹුණහොත් මා කියන දේ සැබැවින්ම වැටහෙනු ඇත (මෙය අහිංසක බලාපොරොත්තුවක් පමණි. ඒ වෙනුවට දැනට ශුක්‍රාණු-මාත්‍රයක් හෝ ඒ මට්ටමින් වත් නොපවතින සත්තාවක් වන අනාගත රාජපක්ෂ කෙනෙකුගේ පොලිටිකල් කැම්පේන් එකක දුවන ඉලෙක්ට්‍රික් ෆෙරාරි වාහන වල බැජ් ගලවා ඒවා වෙනුවට අලවන සංකේතයක් මට්ටමේ සිට ඉදිරියට මහින්ද ලෙගසිය ඉතාමත් දැඩි පාලනයක් යටතේ ලියවීමට ඉඩ තිබේ).

එදාට අපට ගෝඨාභය රාජපක්ෂ නමැති, මහින්ද රාජපක්ෂගේ ස්වර්ණමය යුගයේ සිටි අරාක්ෂක ලේකම්වරයා ගැන දැනගැනීමට කමල් ගුණරත්න නැමැත්තෙකුගේ පොත පබ්ලික් ලයිබ්‍රරියෙන් ඉල්ලාගෙන කියවීමට සිදුවනු ඇත. මම ඉතා දිගු කාලයක් රනිල් වික්‍රමසිංහ ගැන විශ්වාසයෙන් පසු වුණෙමි. මගේ සිහිනය වූ, ලංකාවේ වංගු ආර්ථිකයට ගැළපෙන ආකාරයේ වමට බර දකුණක් ඔස්සේ, ලංකාවේ ජාතිකවාදී ගලේ එබූ ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී කඩුව එළියට ගන්නා කල්පිත ආතර් රජ්ජුරුවන් වූයේ රනිල් වික්‍රමසිංහ ය. මගේ අදහස වූයේ ලංකාවේ ජනතාවගේ අනන්‍යතා අර්බුදය දේශපාලනීකරණය කිරීම මගින් ඔවුන් දිගින් දිගටම ජාතිකවාදී කතිකාවන්ට අන්තර්ග්‍රහණය කරගනු ලබන නිසා ජනතාව දිගින් දිගටම රනිල් වික්‍රමසිංහ ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් ඔහුගේ දේශපාලන වැඩපිළිවෙළ ලංකාවේ පොළොව මත පල නොදරන බවයි. එහෙත් ජනතාව රනිල් වික්‍රමසිංහ ප්‍රතික්ෂේප කරනවා නොව, රනිල් වික්‍රමසිංහ ජනතාව ප්‍රතික්ෂේප කරන බව මම 2019 අවුරුද්දේදී, පැයට කිලෝමීටර් අසූවක වේගයෙන් පාවී අවුත් මගේ ගෙදර ඉදිරිපස දොර මතට වදින හච්චෝරු කාක් බෙට්ටක් තරම් පැහැදිලිව දුටුවෙමි.

මගේ වමට බර දකුණක් ගැන ආතර්-වික්‍රමසිංහ සිහිනය එතැනින් අවසන් විය. ජවිපෙ ගැනත්, එය කලින් කලට පළඳින action movie villain වර්ගයේ, බෙල්ලේ මුලට අත තබා මූණ මුක්කන් කරගෙන ගලවන අනන්‍යතා-චෞර වෙස්මූණු වල නවතම වෙස්මූණ වන මාලිමාව ගැනත් මට ඇත්තේ එක සාධාරණ සැකයකි. එනම්, අගෝස්තු 5 දිනෙන් පසු එළඹෙන දීර්ඝ රාජපක්ෂ පාලනයේ අවසාන භාගයේදී ඔවුන් විසින් නව සතුරෙකු සොයාගනු ලැබූ පසුව ඇතිවන රැල්ලේ සර්ෆින් කිරීම සඳහා ජවිපෙ කෙතරම් ඉක්මනින්, අර කුප්‍රකට මානෙල් මල් ව්‍යාපාරයට සමානව, මොකක් හෝ හීන් තත්කඩ (තක්කඩි නොවේ. විද්‍යාත්මක නාමය Scaevola plumieri) මල් ව්‍යාපාරයක් අටවා ගනු ඇතැයි යන්න ය. එය හැත්තෑ එක සහ අසූ අට/අසූ නවය ගැන ඇති ජනප්‍රිය භීතියට වඩා බෙහෙවින් වෙනස් සැකයකි. ජවිපෙ තුළ යළිත් සන්නද්ධ කැරැල්ලකට විභවයක් ඇතැයි මා නොසිතන අතර, එවැන්නකින් රාජපක්ෂ ආණ්ඩුවකට ප්‍රයෝජනයක් නොවේ නම් රාජපක්ෂ ආණ්ඩුවක් එයට කැලම ඉඩ තබන්නේද නැත. එහෙත් ජවිපෙ තුළ, ෂෝට් ෂිෆ්ටර් ගියර් පොල්ලක් දෙකේ සිට තුනට දමනා තරම් ඉක්මනට, දකුණට බර වමක (හෝ වමට බර දකුණක) සිට අම්බ දකුණකට (far-right) ෂිෆ්ට් වීමේ විභවයක් ඇතැයි යන්න මගේ අදහසයි. ඒ නිසා, මා ප්‍රාර්ථනා කරනා පරමාදර්ශ්හී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මා සුනිල් හඳුන්නෙත්ති තුළින් දුටුවත්, කැටිපේ වැනි ජින්ජර් බ්ලාස්ට් කෑන් එකක් වෙනුවෙන් හෝ නිරූපා වැනි, හැමදාම පැරදුණු බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ හැමදාම පනහක් සීයක් ගැසූ ලාරාට සමාන පිතිකාරිනියක් වෙනුවෙන් කතිරය ගසන්නට මම බියවෙමි. සජිත් ගැන නාසන්න. මා කුමක් නම් කියන්නද?

සජිත්ගේ කණ්ඩායම සම්බන්ධයෙන් මට ඇත්තේ අතිශය පෞද්ගලික ගැටලු දෙකකි. ඉන් පළමුවැන්න නම්, මා මෙලෝ ජීවතාවබෝධයක් නැති නව යෞවන දේශප්‍රේමියෙකු වී සිටි සමයේ නිදිමරාගෙන සවන් දීමට පොළඹවන ජාතියේ කතා සිය දිගු ඇඟිලි විහිදුවමින් හඬ ලෙලවමින් සිදුකළ, අන්තිමට රනිල් වික්‍රමසිංහට මනා විකල්පයක් වන මට්ටමට නියෝලිබරල් කිරුළකට ගැළපෙන සේ තම ඔළුව පේර කපන පිහියකින් රැහැගත් පාඨලී චම්පික රණවකගේ දේශප්‍රේමය අද ඇත්තේ ඔහුගේ කෙසඟ ශරීරයේ කොයි හරියේද යන්න ය. දෙවැන්න නම්, ලංකාව වැනි, වැඩ කරන හා කතා කරන ස්වාධීන ගැහැනුන්ට ගූ බය රටක හිරුණිකා ප්‍රේමචන්ද්‍ර දැක තමන්ගේම වෘෂණ කෝෂ තමන්ගේම කටර් අඬු වලින් අල්ලා අඹරවමින් විලාප දෙන ගෝත්‍රික පිරිමින්ට නාමිකව හෝ රිදවීම සඳහා ඇයට ඡන්දය පාවිච්චි කිරීමේ වුවමනාව වළක්වා ගැනීම ය. ඒ අතින් බලන විට, ලෙඩ වූ ප්‍රමාණයට වඩා සුව වී ගෙදර යන ප්‍රමාණය වැඩි වීම අතින් ලෝක වාර්තාවක් පිහිටුවීමට සූදානමින් සිටින රටක, මගේත් මගේ පවුලේ සාමාජිකයන්ගේත් ආරක්ෂාව වෙනුවෙන්, ඡන්දය දවසේ ගෙදරට වී, නිවසේ පිටුපස තැඹිලි ගසේ අත්තෙත් අත්තට පනිමින් පෙම් කෙළිනා ලේනුන්ගේ උමාරියානු ටින්ටිනය අසා සිටීම වඩාත් හොඳ ය.

එහෙත් එවිට අපගේ ඡන්ද කිහිපය රාවණා බලයෙන් ගුවන්ගත වී කවුරුන් හෝ රාජ්‍ය බලය හිමි හනුමන්තෙකු වෙනුවෙන් වැටෙන බවද මම දනිමි. ඒ අතින් මගේ වර්තමාන දේශපාලන උදාසීනත්වය, කයෝටි මහතා විසින් රෝඩ් රනර් මහතා වෙත විදිනු ලැබ, ඉලක්කය වැරදී ආපසු පැමිණ කයෝටි මහතා බාබකියු කරවන Acme මිසයිලයක් සේ මටම කෙළවන තත්ත්වයකි.ඉතින් මම, හුජ්ජ කොල්ලෙකු විසින් පත්තු කර උඩ යැවීමෙන් පසු මීටර් සියයක පමණ උඩකදී පිපිරී නිවී කොහේ හෝ ගරාජයක ටකරන් වහලයක් මත වැටුණු අහස් ගුණ්ඩුවකින් නිකුත් වී එසැණින් මැකී ගිය ආලෝක පුංජයක් සේ, 2015 වර්ෂයේ එක්තරා දවසක ශ්‍රී ලංකාවේ සමාජ දේශපාලන අවකාශයේ ඇඳී මැකී ගිය වමට බර දකුණක් පිළිබඳ අතීතකාමී වේදනාව සිතේ දරාගෙන, ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ කොරෝනා එන්නත පිළිබඳ යාවත්කාලීන කිරීම් අකුරෙන් අකුර කියවමින් කාලය ගත කරමි.

– තරිඳු ශ්‍රී ලොකුගමගේ



Recommended For You

About the Author: Editor