
මේ වන විට එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ නැංගුරම බවට පත් වී සිටින බෙන් ස්ටොක්ස් වේලාසන ක්‍රීඩාගාරයට යැවීමට සමත් වුව ද,තරුණ ඔලී පොප් (නොදැවී 91) සහ ජොස් බට්ලර් (නොදැවී 56) එංගලන්ත පස්වන කඩුල්ල වෙනුවෙන් නොබිඳි ලකුණු 136 ක සබඳතාවයක් පවත්වා ගනිමින් කොදෙව් – එංගලන්ත පස්වන ටෙස්ට් තරඟයේ පළමු ඉණිම නිමා වන විට එංගලන්ත ලකුණු පූවරුව කඩුලු 4 ට ලකුණු 258 දක්වා ඉහළට ඔසවා තිබිණ.
දෙවන ටෙස්ට් තරඟයේ ජයට ස්ටොක්ස් සමඟ පිතිකරණයෙන් විශාලම දායකත්වය දැක් වූ ඩොම් සිබ්ලි ඊයේ ලකුණු ලබන්නට පෙරම පිටියෙන් ඉවත් කර ගත් කොදෙව්වෝ,නායක ජෝ රූට් මේ තරඟාවලියේ දෙවන වරටත් දුවද්දී දැවී යාමේ දුර්වලකම කරා යාමට පෙළඹූහ.නැංගුරම වූ ස්ටොක්ස් ලකුණු 20 ට පිටියෙන් ඉවත් කළ අතර ආරම්භක පිතිකරු ලකුණු 122 වන තෙක් කඩුල්ලේ රැදී සිටිමින් ලකුණු 57 ක් ලබා ගැනිමෙන් පසුව දැවී ගියේය.
දෙවන ටෙස්ට් තරඟයටත් වඩා ප්‍රබල මට්ටමක පන්දු යැවීමේ අංශය රඳවා ගැනීමේ බලාපොරොත්තු තබා ගෙන කටයුතු කර තිබෙන එංගලන්තය මේ ටෙස්ට් තරඟයේ දී පිතිකරු සැක් ක්‍රෝලි සහ වේගපන්දු යවන සෑම් කරන් කණ්ඩායමෙන් පිටත තබා එම ස්ථාන දෙකම වේග පන්දු යවන්නන් දෙදෙනෙකුට පවරා ඇත.එක් අයෙක් වන්නේ ඔවුන් සතුව වර්ථමානයේ සිටින හොඳම වේග පන්දු යවන්නා ලෙස විශ්වාස කරන,පළමු ටෙස්ට් තරඟයෙන් පසුව සෞඛ්‍ය උපදෙස්වලින් බැහැරව කටයුතු කිරීම නිසා දෝෂ දර්ශනයට ලක් වූ සහ දෙවන ටෙස්ට් තරඟය අහිමි කර ගත් ජොෆ්රා ආචර් ය.දෙවැනි වෙනස්කම ලෙස කණ්ඩායමට එකතු කර ඇත්තේ එංගලන්තය සතුව සිටින අත්දැකීම් බහුලම පන්දු යවන්නා වන ජෙම්ස් ඇන්ඩර්සන්ය.
මේ තත්ත්වය නිසා පිතිකරණ නාමාවලියේ හිදැසක් තබාගෙන පන්දු යවන්නන් පිළිබඳව විශ්වාසයෙන් ක්‍රියා කරන එංගලන්තයට ලකුණු 122 ට කඩුලු 4 ක් අහිමි වීමෙන් පසුව පොප් සහ බට්ලර් ගොඩ නඟමින් තිබෙන සම්බන්ධය මිල කළ නොහැකි එකකි.පන්දු යැවීමේදී කැමරෙන් රෝච් ලකුණු 56 ට කඩුලු 2 ක් දවා ගන්නා අතර රොස්ටන් චේස් ලකුණු 24 ට එක කඩුල්ලක් දවා ගන්නේය.
ලකුණු පූවරුට මෙතනින් පිවිසෙන්න
