
අධිකරණයට අපහාස කළේ යැයි කියන චෝදනාව සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා අගෝස්තු මස 21 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා මැතිවරණ කොමිසමේ සාමාජික මහාචාර්ය රත්නජීවන් හූල් ඇතුළු සිවුදෙනෙකුට කොළඹ වාණිජ මහාධිකරණය යළි සිතාසි නිකුත් කිරීමට නියෝග කරන ලදී.
මෙම පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී එහි වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටින මහාචාර්ය රත්නජීවන් හූල්, ඔහුගේ බිරිඳ දුෂාන්ති හූල් ඇතුළු සිව්දෙනා අධිකරණය හමුවේ පෙනී සිටියේ නැත. වගඋත්තරකාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියේ තම සේවාදායකයාට මේ දක්වා සිතාසි ලැබී නොමැති බවයි.
මෙහිදී විනිසුරු ෆ්‍රෑන්ක් ගුණවර්ධන විවෘත අධිකරණයේ කරුණු දක්වමින් මෙම නඩුකරය සමථයකට පත්කර ගැනීම යෝග්‍ය බව ප්‍රකාශ කළේය. ඒ අනුව නඩුව නැවත අගෝස්තු මස 21 වැනිදා කැඳවීමට නියම කළ විනිසුරුවරයා එදින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා මහාචාර්ය රත්නජීවන් හූල් ඇතුළුව සිවු දෙනාට යළි සිතාසි නිකුත් කරන ලෙසද නියම කරන ලදී.
ත්‍රිකුණාමලයේ පිහිටි “බැල්ඩියස් තියොලොජිකල් කොලේජ්” නමැති අධ්‍යාපන ආයතනයක් මගින් නිකුත් කරන “ඩිරෙක්ෂන්” නමැති සඟරාවේ පළ කළ ලිපියක් මගින් අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කොට මහාචාර්ය රත්නජීවන් හූල්, ඔහුගේ බිරිඳ දුෂාන්ති හූල් ඇතුළු වගඋත්තරකරුවන් හතර දෙනකුට එරෙහිව මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබේ.