කුවේට්හි ලාංකිකයන්ගෙන් මුදල් අමාත්‍යාංශයට ඉල්ලීමක්

පසුගිය සිංහල අලුත් අවුරුද්ද සැමරීමට මෙරටට පැමිණීමේ අපේක්ෂාවෙන් සිටි කුවේට්හි සේවය කරන ශ්‍රී ලාංකිකයෝ විශාල පිරිසක් කාගෝ සේවාවන් ඔස්සේ මෙරටට එවූ භාණ්ඩ මෙතෙක් මුදාගැනීමට නොහැකි වී ඇත.

කාගෝ සේවාවන් ඔස්සේ මුහුදු මාර්ගයෙන් එවූ භාණ්ඩ මාර්තු මාසයේ හා අප්‍රේල් මාසයේදී මෙරටට පැමිණ ඇතත් කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් එම භාණ්ඩ එවූ ශ්‍රී ලාංකිකයන්ට මෙරටට පැමිණීමට නොහැකි විය.

භාණ්ඩ එවූ පුද්ගලයා විසින් තමන්ගේ භාණ්ඩ මෙරටදී මුදාගන්නේ නම් රේගු බදු සහනයක් ලබාදෙන බව පවසන කුවේට්හි වෙසෙන ශ්‍රී ලාංකිකයන් තමන්ට මව් රටට පැමිණීමට නොහැකි වී ඇති නිසා එම භාණ්ඩ ලබාගැනීමට සිදුව ඇත්තේ ඥාතීන්ට බවද කියයි.

එහෙත් අදාළ බදු සහනය ඥාතීන්ට ලබා නොදෙන බැවින් විශාල මුදලක් ගෙවීමට සිදුව ඇති බවද ඔවුහු පවසති. එබැවින් භාණ්ඩ මුදා නොගෙන මාස හතරක කාලයක් තිස්සේ අදාළ කාගෝ සමාගම්වල ගබඩාවල සිරවී ඇතැයිද පවසති. තමන් එවූ ඇතැම් භාණ්ඩ අතර දූදරුවන් සඳහා කෑම බීම් වර්ගද ඇතැයි පවසන ඔවුහු මේ වන විට ඒවායේ කාලය ඉකුත්ව ඇතැයිද කියති.

එම නිසා තමන්ට හිමි බදු සහනය මත නම් කරන ලද ඥාතීන්ට අදාළ භාණ්ඩ මුදාහරින ලෙස කුවේට්හි සිටින ශ්‍රී ලාංකිකයෝ මුදල් අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටිති.

Recommended For You

About the Author: Editor