‘කොවිඩ් පාඩු’ මකා ගන්න ඖෂධ මිල ඉහල දැම්මා ඖෂධ කර්මාන්තකරුවෝ රජයට කියති

බලපත්‍ර අත්හිටුවන ලද සමාගම් විසින් ඖෂධ මිල වෙනස් කර ඇත්තේ කොවිඩ් වසංගතය මෙරට පැතිර පැවැති සමයේ උද්ගත වූ පාඩු පියවා ගැනීමට පමණක් බව ඖෂධ කර්මාන්තකරුවන්ගේ වාණිජ මණ්ඩලය රජයට පෙන්වා දී ඇත. එම මණ්ඩලය මෙම කරුණු දැක්වීම කර ඇත්තේ ඖෂධ වර්ග 10ක් ආනයනය කිරීම හා විකිණීම අත්හිටුවමින් සමාගම් කිහිපයකට ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් පැනවූ තහනම පිළිබඳව සාකච්ඡා කිරීමට කැඳවා තිබූ විශේෂ සාකච්ඡාවකදීය.

හේමාස් ෆාමසියුටිකල්ස් ලිමිටඩ්, ඒ. බවර් සහ සමාගම, යුරෝ ඒෂියන් ෆාමා ලිමිටඩ්, පෙටා ෆාමසි ලිමිටඩ් සහ රොබට් හෝල් සහ සමාගම් විසින් ආනයනය කරන ලද ඖෂධ වර්ග 10ක් සඳහා පැවැති ලියාපදිංචි කිරීම සහ ආනයන බලපත්‍ර නිකුත් කිරීම අතිහිටුවීමට ජාතික ඖෂධ නියාමන අධිකාරිය පසුගිය සතියේ කටයුතු කළේය. ඒ ජාතික ඖෂධ නියාමන අධිකාරි පනතේ 65 වන වගන්තිය යටතේ පවතින බලතලවලට අනුවය. අධිකාරිය චෝදනා එල්ලකර තිබුණේ අදාළ සමාගම් විසින් 2015 පනතේ විධි විධාන උල්ලංඝනය කරමින් අත්තනෝමතික ලෙස සහ ඒකපාර්ශ්වීයව ඖෂධවල සිල්ලර මිල ඉහළ නංවා ඇති බවයි.

කෙසේ වෙතත් අගහරුවාදා පැවැති සාකච්ඡාවේදී ඖෂධ කර්මාන්තකරුවන්ගේ වාණිජ මණ්ඩලය පෙන්වාදී ඇත්තේ චෝදනා ලැබ සිටින කිසිදු සාමාජිකයකු සමාගම් පනතේ 65 වැනි වගන්තියේ සඳහන් පූර්ව කොන්දේසි උල්ලංඝනය කර නොමැති බවයි.

Recommended For You

About the Author: Editor