මැතිවරණ කොමිසමෙන් අන්තිම අවවාදය නිකුත් කරයි !

මහ මැතිවරණයේ මනාප ලබාගැනීම සඳහා ඡන්ද නීති රීති අමු අමුවේ උල්ලංඝනය කරමින් සටන් කරන අපේක්ෂකයන්ට මැතිවරණ කොමිසම අවසන් නිවේදනය නිකුත්කර ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියයි.

මැතිවරණ කොමිසම මෙම පියවර ගෙන ඇත්තේ මනාප සටන් උග්‍ර දිස්ත්‍රික්ක ගණනාවකින් ලැබුණ බරපතළ පැමිණිලි රාශියක් හේතුවෙනි.

අප වෙත වාර්තා වන ආකාරයට මැතිවරණ කොමිසම මෙලෙස අවසන් නිවේදනය නිකුත්කර ඇත්තේ උතුරැමැද පළාතේ උග්‍ර මනාප පොරයක් පවත්නා දිස්ත්‍රික්කයක් වෙනුවෙනි. එම අවවාදාත්මක ලිපිය මේ සතියේ යොමුකර ඇත්තේ එම දිස්ත්‍රික්කයේ මනාප සටනේ නියුතු ප්‍රධාන පක්ෂවල නායකයන් වෙතය. එමගින් කියා ඇත්තේ වහාම මෙම නීති විරෝධී මනාප සටන් නතර කරන ලෙසය. එසේ නොකළහොත් වෙනම පරිපාලන නිලධරයකු යොදවා ඡන්ද ප්‍රචාරක කටයුතු දැඩි ලෙස පාලනය කරන බවත් තත්ත්වය උග්‍ර වුවහොත් එම දිස්ත්‍රික්කයේ ඡන්දය පැවැත්වීම ගැන දැඩි තීන්දුවක් ගන්නා බවත් දැනුම් දී තිබේ.
ආරම්භක අවසන් අවවාදය මෙම දිස්ත්‍රික්කය වෙනුවෙන් නිකුත් කළද තවත් දිස්ත්‍රික්ක තුනක උග්‍ර නීතිරීති උල්ලංඝනය කරමින් සිදුකරන මනාප සටන් ගැන පැමිණිලි ලැබී ඇතැයි වාර්තා වෙයි. නැගෙනහිර (දකුණ) පළාතේ එක් හිටපු අමාත්‍යවරයෙක් මැතිවරණ නීතියට පටහැනිව අශ්වයන් පෙළපාළියක් මගින් ඡන්ද ප්‍රචාරක කටයුතු කළ බවට සවිස්තර තොරතුරු මැතිවරණ කොමිසමට වාර්තා වී ඇත. එසේම යාපනය දිස්ත්‍රික්කයෙන්ද නීති විරෝධී ප්‍රචාරක කටයුතු ගැන පැමිණිලි ගණනාවක් ලැබී තිබේ.

ඡන්ද ප්‍රචාරක කටයුතු ආරම්භයේදී අනුරාධපුරය හා ගාල්ල දිස්ත්‍රික්කවලින්ද මෙබඳු මනාප ආරවුල් වාර්තා වුවද මැතිවරණ කොමිසමේ දැඩි අවවාද හා සීමාකිරීම් නිසා එම තත්ත්වය පාලනය වී ඇත. කෙසේ වෙතත් දැනට අවසන් අවවාදාත්මක නිවේදනය ලබාදී ඇති උතුරු මැද පළාතේ දිස්ත්‍රික්කය තුළ තත්ත්වය පාලනය නොවුවහොත් මැතිවරණ කොමිසම පෙරළිකාර තීන්දුවකට එළඹෙනු ඇතැයි සඳහන් වෙයි.

Recommended For You

About the Author: Editor