
කුඩු ජාවාරමට සම්බන්ධ බවට චෝදනා එල්ල වූ නාකොටික් නිලධාරීන් එල්.ටී.ටී.ඊ. පිස්තෝල කල්ලි නායකයකු සමග සමීප සබඳතා පවත්වමින් ජාවාරම් කරගෙන ගොස් ඇතැයි විමර්ශනවලදී හෙළිවී ඇත.
මන්නාරමේ සුඛෝපභෝගී හෝටලයක් හා මීගමුවේ නිවසක් හිමි ෆැහෙලියන් නමැති මෙම කොටි පිස්තෝලකරුගේ නිවසට නාකොටික් නිලධාරීන් කිහිප දෙනකු නිතර ආගිය බවද හෙළිවී තිබේ. මෙම කොටි පිස්තෝල නායකයාගේ නිවසේ හා හෝටලයේ මෙම නිලධාරීන් නිතර සාද පවා පවත්වා ඇති බවද හෙළිවී ඇත.
ඔත්තුකරුවකු බව පෙන්වා දෙමින් මෙම කොටි පිස්තෝලකරු සමග ජාවාරම් කළ බවට තොරතුරු හෙළිවී ඇතැයි ජ්‍යෙෂ්ඨ නිලධාරියකු සඳහන් කළේය. රේගුවේදී ඇල්ලූ රත්රන් කිලෝ 20ක ජාවාරමක් සම්බන්ධයෙන් ෆැහෙලියන් දුන් ඔත්තුවක් නිසා රජයෙන් ත්‍යාග මුදල් ලෙස ලද රුපියල් දෙකෝටි හැටපන් ලක්ෂයෙන් රුපියල් ලක්ෂ 75ක් මෙම නිලධාරීන් ලබා ගෙන ඇතැයිද හෙළිවී තිබේ.
මුස්ලිම් ජාතිකයකු ලෙසද පෙනී සිටින ෆැහෙලියන් 1996 සිට 2001 දක්වා මන්නාරම භාර පිස්තෝල කල්ලි නායකයා ලෙස කටයුතු කර තිබේ. ඉන්දියාවට බෝට්ටු මගින් පුද්ගලයන් පැන්න වීමේ ජාවාරම්වලට මොහුගේ සහාය ලැබුණේද යන්නද සොයා බලමින් ඇත.