
දරුවකු යනු පවුලකට, ගමකට, රටකට වටිනා සම්පතකි. එනිසාම දරුවකු නැණයෙන්, ගුණයෙන් පිරිපුන් පුද්ගලයකු ලෙසට පත්කිරීම මවුපියන්ගේ යුතුකමක් සහ වගකීමකි. එම වගකීමේ ප්‍රධාන කාර්යභාරයක් වන අධ්‍යාපනය ලබා දීමට මූලික අඩිතාලම යෙදෙන්නේ දරුවාට අකුරු කියැවීමේ කටයුත්තේ සිටයි. පිරිමි දරුවකු නම් අවුරුදු තුනක් පිරීමට පෙර අකුරු කියැවීම සම්ප්‍රදාය වන අතර, අතීතයේ මේ කටයුත්ත සඳහා සම්බන්ධ කරගන්නේ ගමේ වැඩිහිටියකු, උගතකු හෝ බුද්ධිමතෙක් යැයි සැලකෙන විශේෂිත කෙනෙකි. ඒ අතර පාසලේ විදුහල්පති, පන්සලේ හාමුදුරුවෝ හෝ ගමේ වෙද මහතාටද ප්‍රධාන තැනක් හිමි විය. එහෙත් අද වෙද්දි තත්ත්වය යම් තරමකට වෙනස් වෙමින් මව හෝ පියා අකුරු කියවන කටයුත්තට මුල්වන බව පෙනී යයි.
අකුරු කියැවීමේ කටයුත්තට කාලය ආසන්න වෙද්දි සුදුසු ජ්‍යොතිෂවේදියකු හමුවී දරුවාගේ කේන්දරය පරීක්‍ෂා කර සුදුසු දිනයක්, නැකැතක් සාදවා ගතයුතුය. ඉන්පසුව අදාළ දිනයට පෙර දින පන්සලට ගොස් බෝධි පූජාවක් පවත්වා ආශීර්වාද ලබාගැනීමෙන් දරුවාගේ අනාගතයට සෙතක් සිදුවෙයි. අධ්‍යාපනය නිසි අයුරින් පිහිටන්නටද එය ශක්තියක් වෙයි.
අකුරු කියවන දිනයේ සුබ මොහොතට පෙර නුවණට අධිපති ගණ දෙවියන්ට සහ හෙළ කලාවට අධිපති සරස්වතී දේවියට පූජාවන් තැබිය යුතුය. එම පූජාව තැබීමේදී පිරිසුදුකර කහ දියර ඉස පිළියෙළ කරගත් විශේෂිත තැනක් සූදානම් කරගත යුතු අතර, එම ස්ථානයේ මේසයක් තබා ඊට සුදු පිරුවටයක් එළා සූදානම් කරගන්න. ඒ මත ගණ දෙවියන්ගේ හා සරස්වතී දේවියගේ ඡායාරූප හෝ ප්‍රතිමා දෙකක් තබාගන්න.
ඉන්පසුව වෙන වෙනම දෙවියන් සඳහා පූජා වට්ටි සකස් කළ යුතුය. ගණ දෙවියන්ට වෙනම පූජා වට්ටියකුත්, සරස්වතී දේවියට වෙනම පූජා වට්ටියකුත් ලෙස සකස් කරගත් පූජා වට්ටි දෙක දරුවා ලවා දේව රූප ඉදිරියේ තැන්පත් කරවන්න. පසුව දෙවිවරු වෙනුවෙන් පහන් දෙකක් දල්වන්න. ඊට අලුත් පහන් තැටි දෙකක් සපයාගත හැකිනම් වඩාත් ගැළපේ. ඉන් අනතුරුව සුවඳ දුම් අල්ලා හඳුන් කූරු ආදියද දැල්විය යුතුය. එසේ සූදානම් කළ පූජා ස්ථානය වටා තෙවරක් දරුවා දක්‍ෂිණ වෘත්තව පැදකුණු කරවන්න. ඉන්පසු දේව රූප සහිත පූජා මේසය ඉදිරිපිට දරුවාව හිඳුවන්න. වාඩි වූ දරුවාට දේව රූප පෙනෙන ආකාරයේ උසට ගැළපෙන මේසයක් මේ සඳහා යොදාගත හැකිනම් වඩාත් සුදුසු වෙයි.
දරුවා වාඩි කරවූ පසු මවුපියන්ද එම ස්ථානයේ වාඩි වී දරුවාගේ අධ්‍යාපන කටයුතු සඳහා ගණ දෙවියන් සහ සරස්වතී දෙවියන්ගෙන් පිහිට පතා දෙවියන්ට පින් දීමෙන් පසුව සුබ මොහොතකට දරුවාට අකුරු කියවන්න.
මේ කටයුත්තේදී ඒ ඒ දරුවාගේ කේන්දරය පරීක්‍ෂාවෙන් පසුව සුදුසු අකුරු ජ්‍යොතිෂ මහතා සඳහන් කරනු ඇති සුබ මොහොතට එම අකුරක් කියැවීමෙන් වඩාත් හොඳ අධ්‍යාපනයක් ලබා ගැනීමට දරුවාට අවශ්‍ය ශක්තිය, ධෛර්යය නොඅඩුව ලැබෙනු ඇත.
පූජාවට අවශ්‍ය ද්‍රව්‍ය
* පලතුරු වර්ග 5යි. (අඹ, කෙසෙල්, දොඩම්, උක්දඬු, තැඹිලි, දිවුල් වැනි පලතුරු විශේෂයෙන් සුදුසු වෙයි.
* කැවිලි වර්ග 5යි. (එහිදී කොණ්ඩ කැවුම්, අග්ගලා, හා කිරියා කෑලි වැනි කැවිලි විශේෂ වෙයි.)
* උක් හකුරු
* මුංඇට සහ එළකිරි යොදා සැකසූ කිරිබත්
* කහ, රතු, සහ සුදු මල් යොදා සැකසූ මල්මාලාවක්
ඉහත සඳහන් වර්ගම සොයාගත නොහැකි නම් ඊට ආදේශකයන් යොදා ගැනීමද වරදක් නොවේ. වඩාත් වැදගත් වන්නේ කටයුතු කාරණා, සඳහා සැදී පැහැදී කටයුතු කාරණා ඉටුකිරීමයි.