හම්බන්තොට තෙල් පිරිපහදුව ගැන CID පරීක්ෂණ

යහපාලන ආණ්ඩුව සමයේ දී මතභේදයට තුඩු දුන් හම්බන්තොට තෙල් පිරිපහදු ව්‍යාපෘතිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර ඇත.

ඇමෙරිකානු ඩොලර් බිලියන 3.85ක ආසන්න වශයෙන් (රුපියල් බිලියන 700ක්) වටිනාකමකින් යුතු එම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් නිවේදනය කෙරුණේ පසුගිය වසරේ මාර්තු මාසයේදී ය. ඕමානයේ ඛනිජ තෙල් අමාත්‍යාංශයට එම ව්‍යාපෘතියෙන් 30% ක කොටස් අයිතිය හිමිවන බවද ප්‍රකාශ විය.

ඕමානයට එම ව්‍යාපෘතියේ කොටස් හිමි නොවන බවත් සිංගප්පූරුවේ ලියාපදිංචි සිල්වර් පාර්ක් ඉන්ටර්නැෂනල්’ නමැති සමාගමකට අදාළ ව්‍යාපෘතියේ කොටස් හිමි බවත් පසුව වාර්තා විය.

‘සිල්වර් පාර්ක් ඉන්ටර්නැෂනල්’ සමාගමේ අධ්‍යක්ෂවරුන් සිව්දෙනාගෙන් තිදෙනකු ඉන්දියාවේ ඩී.එම්.කේ. පක්ෂයේ මතභේදාත්මක දේශපාලනඥයකු වන එස්. ජගත්‍රාක්ෂකාන්ගේ පුතා, දියණිය සහ බිරිඳ බවට ද තොරතුරු වාර්තා වී තිබිණි.

මෙම ව්‍යාපෘතිය සඳහා හම්බන්තොට දිස්ත්‍රික්කයේ අක්කර සිය ගණනක ඉඩම් වෙන් කළ අතර තවමත් පරිසර බලපෑම සම්බන්ධයෙන් අධ්‍යයනයක් කර නැත. එමෙන්ම මෙම ව්‍යාපෘතිය සඳහා තවමත් කිසිදු ආයෝජනයක් ලැබී නැතැයි ද වාර්තා වේ.

මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ආයෝජන මණ්ඩලයෙන් තොරතුරු විමසීමක් කළ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් විමර්ශනයක් කරන බව පවසමින් ආයෝජන මණ්ඩලය තොරතුරු ලබාදීම සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කළේය.

සන්ඩේ ටයිම්ස්

Recommended For You

About the Author: Editor