ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ වත්මන් තත්ත්වය පිළිබඳ ව සාකච්ඡාවක් අරලියගහ මන්දිරයේ දී …

ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ වත්මන් තත්ත්වය පිළිබඳ ව අරලියගහ මන්දිරයේ දී පැවැති සාකච්ඡාවකට එක්වෙමින් අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා යහපාලන රජය ගෙනගිය අකාර්යක්ෂම කළමනාකරණය සහ මූල්‍ය අවභාවිතය හේතුවෙන් පාඩු ලබන රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව යළි සක්‍රිය තත්ත්වයට පත්කිරීමට වහා කටයුතු කරන ලෙස උපදෙස් දී තිබේ.

යහපාලන ආණ්ඩු කාලය තුළ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව ඔස්සේ අත්තනෝමතික ලෙස ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කර ඇති අතර ඒවායෙන් ලැබිය යුතු රුපියල් බිලියන ගණනක මුදල් මේ දක්වා ඉංජිනේරු සංස්ථාවට ලැබී නොමැති බව මෙහි දී අනාවරණය විය.

සිරිකොත පක්ෂ මූලස්ථානයේ ඉදිකිරීම් සඳහා ද රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සේවය ලබා ගත් බවත් මෙතෙක් ඒ සඳහාවත් ගෙවීම් කර නැති බවත් ඉංජිනේරු සංස්ථා නිලධාරියෙක් මෙහි දී හෙළි කොට තිබේ.

යහපාලන රජය සුදුසුකම් රහිත පත්වීම් සහ උසස්වීම් ලබා දීම හේතුවෙන් රජ්‍ය ඉංජිනේරු සංස්ථාව තුළ මේ වන විට සේවක අර්බුදයක් ද මතු ව ඇති බව ද නිලධාරීහු පෙන්වා දුන්හ.

එසේ අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා ලෙස කටයුතු කරන කාලයේ ආරම්භ කළ සංවර්ධන ව්‍යාපෘති ගණනාවක් යහපාලන රජය විසින් නවතා දැමීමට කටයුතු කිරීම හේතුවෙන් එම සංවර්ධන කටයුතු ඇනහිට ඉංජිනේරු සංස්ථාව කබලෙන් ළිපට ඇද වැටුණේ යැයි ද නිලධාරීහු කියා සිටියහ. පෑලියගොඩ සී සිටි (C City) වෙළඳ පරිශ්‍රය මෙලෙස අතහැර දැමූ එක් ව්‍යාපෘතියක් පමණක් බව මෙහි දී හෙළි විය.

අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ නියෝග පරිදි අදාළ වෙළඳ පරිශ්‍රයේ කටයුතු පසුගිය දා යළි ආරම්භ විය.

රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව යළි සක්‍රිය කිරීමේ දී මෙතෙක් ඇනහිට තිබෙන ව්‍යාපෘති ආරම්භ කිරීමට සාකච්ඡා මාර්ගයෙන් පොදු තීන්දුවක් ගන්නා ලෙසත්, ඊට අවශ්‍ය මූල්‍ය සහය ලබා දීම පිළිබඳ ව අදාළ අංශ දැනුම්වත් කිරීමට කටයුතු කරන බවත් අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කොට තිබේ.

මෙම හමුවේ දී ගත් තීන්දු තීරණ වෘත්තිය සමිති නියෝජිතයෝ ඇගයීමට ලක් කළහ.

මෙම අවස්ථාවට අමාත්‍ය ගාමිණී ලොකුගේ, රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත්, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් චමින්ද කුලරත්න, ග්‍රාමීය නිවාස සහ ඉදිකිරීම් සංවර්ධන හා ගොඩනැගිලි ද්‍රව්‍ය ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් කීර්ති රංජිත් අබේසිරිවර්ධන, ශ්‍රී ලංකා ඉංජිනේරු සංස්ථාවේ සභාපති නීතිඥ රත්නසිරි කළුපහන යන මහත්වරු ඇතුළු රාජ්‍ය ආයතන ප්‍රධානීහු සහ ඉංජිනේරු සංස්ථා වෘත්තීය සමිති නියෝජිත පිරිසක් ද එක්ව සිටියහ.

Recommended For You

About the Author: Jayani