
කොවිඩ් – 19 රෝගීන් සමාජගතව සිටින්නේ දැයි හඳුනාගැනීම සඳහා රට පුරා සෑම වෛද්‍ය නිලධාරී කොට්ඨාසයක්ම ඉලක්ක කරගනිමින් අහඹු ලෙස සාම්පල් ගෙන පී.සී.ආර්. පරීක්ෂාව කිරීමේ නව විධිමත් ක්‍රමවේදය අගෝස්තු 01 වැනිදා සිට ක්‍රියාවට නැංවීමට වසංගත රෝග විද්‍යා අංශය තීරණය කරයි.
මේ ක්‍රමවේදය මඟින් රට පුර සියලු වෛද්‍ය නිලධාරී කොට්ඨාස ආවරණය වන බවත්, ප්‍රදේශයේ ජනගහනයට අනුපාතිකව සාම්පල් ගෙන පරීක්ෂා කිරීම සිදු කරන බවත් වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවැසුවේය.
නව ක්‍රමවේදය යටතේ එක් මසකට පීසීආර් පරීක්ෂණ 37,000ක් සිදු කිරීමට අපේක්ෂා කරන බවත්, මෙමඟින් රටේ ඕනෑම තැනක කොරෝනා රෝගියකු සිටිය හොත් සාර්ථකව හඳුනාගත හැකි බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.
කොළඹ දිස්ත්‍රික්කයේ කොළඹ මහා නගර සභාව, ගම්පහ වැනි ප්‍රදේශයන්හි ජනතාව සහ වෙනත් ආයතන වැඩිපුර තිබෙන නිසා එම ප්‍රදේශයන්හි වැඩිපුර පීසීආර් පරීක්ෂණ සිදු කිරීමට අපේක්ෂා කරන බවද හෙතෙම පැවැසීය.
රට පුරා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 334ක් ඇති බවත් එක් එක් දිස්ත්රික්කයන්ට අයත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස පදනම් කර ගනිමින් දිස්ත්‍රික් මට්ටමින් මේ විධිමත් ක්‍රමවේදය සම්බන්ධයෙන් සැලසුම් සකස් කර ලබාදීම සිදු කළ යුතු බවත් ඔහු පැවැසුවේය.
කොවිඩ් – 19 ව්‍යාප්ත විය හැකි බවට සැක සහිත ස්ථානයක් වාර්තා වුවහොත් දැනටත් අහඹු ලෙස පීසීආර් පරීක්ෂණ සිදු කිරීමට සාම්පල් ලබාගැනීම සිදු කරන බවත්, එම ක්‍රමවේදය විධිමත් හා පුළුල් කිරීම නව වැඩපිළිවෙළ මඟින් සිදු කරන බවත් ඒ මහතා කීය.