ගතවූ පස් වසරේදී කෝටි 29,000ක බදු අයකර ගැනීම පැහැර හරී

ඉකුත් පස් වසරේ දී බදු හා දඩ වශයෙන් රුපියල් කෝටි විසි නව දහස් අසූ එකක් ගෙවීම පැහැර හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය අනාවරණය කරයි. අය කර ගැනීමට හැකි බවට හඳුනාගෙන තිබියදීත් මෙම බදු හා දඩ මුදල් අය කිරීමට කටයුතු නොකළ නිලධාරීන් සම්බන්ධයෙන් විධිමත් ක්‍රියාමාර්ග ගන්නා ලෙස ද විගණකාධිපතිවරයා නිර්දේශ කර තිබේ.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව බදු හා දඩ අය කර ගැනීම සඳහා 2012 වසරේ දෙසැම්බර් මාසය දක්වා legecy (ලෙජසි) යන පරිගණක පද්ධතිය ක්‍රියාත්මක කළ අතර ඉන් පසු Ramis (රැමිිස්) පද්ධතිය ආරම්භ කළේය. legecy පද්ධතියේ තවදුරටත් හිඟව පවතින බදු හා දඩ ශේෂය රුපියල් කෝටි දොළොස් දහස් හත්සිය හැත්තෑ හයක් යැයි විගණකාධිපතිවරයා සිය වාර්තාවෙන් අනාවරණය කර තිබෙන අතර ඉන් පසු ක්‍රියාත්මක කළ Ramis පද්ධතියේ පසුගිය වසරේ ජුනි මස 30 වැනිදා වන විට හිඟ බදු හා දඩ ශේෂ රුපියල් කෝටි දහසය දහස් තුන්සිය පහක් යැයි ද එහි සඳහන්ව තිබේ.

දැන් ක්‍රියාත්මක පද්ධතිය යටතේ අය කර ගත හැකි හිඟ බදු හා දඩ අතරින් රුපියල් කෝටි එක්දහස් හැටක් හෙවත් සමස්ත හිඟ මුදලින් සියයට අසූ තුනක් ආදායම් බදු, එකතු කළ අගය මත බදු හා ජාතිය ගොඩනැගීමේ බදු බව වාර්තාවෙන් පෙන්වා දෙයි.

2018 වස​රේ සිට 2019 වසරේ ජුනි දක්වා වූ කාලයේ පමණක් රුපියල් කෝටි පන්සිය විස්සක හිඟ බදු ශේෂ නිරවුල් කර නොතිබූ බවත් අනාවරණය කර ඇත.

දෙපාර්තමේන්තුව අලුතින් ආරම්භ කළ පද්ධතිය යටතේ සාවද්‍ය ලෙස සටහන් කර ඇති රුපියල් කෝටි තිස්පන් ලක්ෂයක හිඟ බදු හා දඩ ශේෂයක් පවත්වා ගෙන යන බවත් ජාතික විගණන කාර්යාලයට නිරීක්ෂණය වී තිබේ.

සමස්ත ක්‍රියාවලිය අධීක්ෂණය හා නිරවුල් කිරීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග සපු විපරම් කිරීම වෙනුවෙන් දේශීය ආදායම් දෙපාර්තමේනතුවේ අභ්‍යන්තර පාලන ක්‍රමයක් වෙනම ස්ථාපිත කරන ලෙස ද විගණකාධිපතිවරයා නිර්දේශ කර ඇත.

Recommended For You

About the Author: Editor