
ඇවන්ට්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති විසින් 2020 ජනවාරි 21 වැනිදා කරන ලද පැමිණිල්ලකට අනුව දේශපාලන පළිගැනීම් පිළිබඳව විමසන ජනාධිපති කොමිසම ආරම්භ කළ විමර්ශනය අත්හිටුවමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ජවිපෙ නායක අනුර කුමාර දිසානායක හා රහස් පොලිසියේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර ගොනුකළ ‘රිට් පෙත්සම්’ අභියාචනාධිකරණය හමුවේ සලකා බැලීම සඳහා අද (27 වැනිදා) කැඳවීමට නියමිතය.
තමන් දෙදෙනා කොමිසම හමුවේ පෙනී සිටීමට නියම කරමින් එමගින් නිකුත් කළ සිතාසිය අවලංගු කර බලරහිත කරන ලෙස ද ඉල්ලා ඇත. පෙත්සම්කරුවන් කියා සිටින්නේ කොමිසම කටයුතු කරන්නේ ජනාධිපති නිකුත් කළ ගැසට් නිවේදනයේ සඳහන් නියමයන්ට පටහැනිව බවයි. ඇවන්ට්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති විසින් නිසි අවසරයකින් තොරව ගාලු වරාය අසල මුහුදේ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන ගිය බවට ඔහුට එරෙහිව එල්ල වී ඇති චෝදනාව ගැන අධිකරණයක නඩු විභාගයක් පැවැත්වෙද්දී ඒ ගැන තවත් විමර්ශනයක් පැවැත්වීමට හා තමන් දෙදෙනාගේ ප්‍රශ්න කිරීමට ජනාධිපති කොමිසමට නෛතික බලයක් නැතැයි ද පෙත්සම්කරුවෝ කියා සිටිති.