ඔස්ට්‍රේලියාවට දෙවනි රැල්ලක් ගෙනා නිරෝධායන මධ්‍යස්ථානවල හොර වැඩ

කොරෝනාවෛරසය පැතිරෙන්නට පටන්ගත් මුල් දවස්වලම එරට බලධාරීන් අවශ්‍ය පියවර ගැනීම නිසා තත්ත්වය පාලනය කරගන්න පුළුවන් වුණා.


මුල්ම අවස්ථාවෙ වැඩි රෝගීන් පිරිසක් වාර්තා වුණේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන්. මාර්තු මාසයේ අවසන් සතියෙදි එරටින් සැලකිය යුතු ආසාදිතයින් ප්‍රමාණයක් වාර්තා වුණත් ඉන්පසු තත්ත්වය පාලනය වුණා. තුන්වන මට්ටමේ ලොක් ඩවුන් පියවර ගැනීම මගින් සමාජීය දුරස්ථභාවය බොහෝදුරට ආරක්ෂා කිරීම ඊට හේතු වුණා.
සති කිහිපයක් ගතවෙද්දී ලොක් ඩවුන් සීමා කෙමෙන් කෙමෙන් ලිහිල් කරමින් පවා තත්ත්වය පාලනය කරගෙන පවත්වාගන්න ඔස්ට්‍රේලියාව සමත් වුණා.


සියල්ල වෙනස් වුණේ ජූලි මාසෙ මුලදි විශාල ආසාදිතයන් ප්‍රමාණයක් එක් දිනක් තුළ වාර්තා වීමෙන්. මේ තත්ත්වය දිගටම පැවති හෙයින් ජූලි 9 වනදා මෙල්බර්න් හි ලොක්ඩවුන් පියවර නැවත ගනු ලැබුණා.
ආසාදිතයන් වාර්තා වූ ආකාරය සොයාගෙන යාමේදී පෙනීගිය එක් කරුණක් නම් කලින් ලොක් ඩවුන් සීමා ලිහිල් කළ අවස්ථාවේ ප්‍රවේශම් සහගත නොවීම රෝග ව්‍යාප්තියට හේතු වූ බවයි. සැක කටයුතු රෝග ලක්ෂණ මතු වූ අයගෙන් ද වැඩි පිරිසක් ස්වයං නිරෝධායනය වී තිබුණේද නැහැ.

කෙසේ වෙතත් වඩාත් බරපතල සිද්ධියක් වාර්තා වූයේ නිරෝධායන මධ්‍යස්ථාන ලෙස යොදාගත් හෝටල් කිහිපයකයි. පිටරට සිට පැමිණෙන ඔස්ට්‍රේලියානුවන් නිරෝධායනය කිරීමට මෙම ස්ථාන යොදවනු ලැබුණා. එහෙත් එහි විවිධ අක්‍රමිකතා සිදුව ඇති බවයි පෙනීගොස් ඇත්තේ.


මෙම ස්ථාන සඳහා ආරක්ෂාව සැපයීම පෞද්ගලික ආයතනවලට පවරා ඇති අතර ඔවුන් එය තවත් උප කොන්ත්‍රාත්කරුවන් වෙත පවරා තිබෙනවා. ආරක්ෂක කටයුතු සඳහා පිරිස් බඳවාගෙන ඇත්තේ කිසිදු සුදුසුකමක් නොසලකමින්. එසේ බැඳුණු අයෙක් පසුව හෙළිකළේ තමා වට්ස් ඇප් සමූහයක පණිවිඩයක් මගින් දැනගෙන ඊට යොමු වූ බවයි. සෞඛ්‍යය ආරක්ෂාව පිළිබඳ කිසිදු පුහුණුවක් ඔවුන්ට ලබා දී නැහැ.

අදාල ස්ථානවල ආරක්ෂකයින් රිසි සේ එහා මෙහා සැරිසරා ඇති අතර ඇතැම් විට නිරෝධායනයට ලක්වන්නන් හා ලිංගික ඇසුරක් පවා පැවැත්වූ ආරක්ෂකයින් පිළිබඳ චෝදනා එල්ල වී තිබුණා.
මේ අතර ආරක්ෂකයින් කෝවිඩ්-19 සඳහා පරික්ෂාවට ලක්වීම අවශ්‍ය නොවන බව තමන් සේවයට ගත් පිරිස අවසූවේ යයි එක් ආරක්ෂක නිලධාරියකු චෝදනා කළා.


අවසානයේදී මෙම ආරක්ෂකයින් පරීක්ෂාවට ලක්විය යුතු බව හා ස්වයං නිරෝධායනයට ලක්විය යුතුබව දැනුම්දුන් විට ඒ බොහෝ දෙනෙක් එතැනින් ඉවත්ව ගොස් වෙනත් රැකියා සොයාගන්නට පෙළඹුණ බවත් ඇතැමුන් කුලීරථ පැදවීම කෙරෙහි පවා යොමු වූ බවත්, එමගින් ආසාදනය ඔවුන් හරහා තවත් පැතිරෙන්නට ඇති බවත් එම ආරක්ෂක නිලධාරියා මාධ්‍ය හමුවේ හෙළිකළා.


මෙම කරුණු හමුවේ වික්ටෝරියා ප්‍රාන්ත අගමැතිවරයා අදාල් සිද්ධීන් පිළිබඳ පුළුල් පරීක්ෂණයක් දියත් කර තිබෙනවා. මේ අතර මේ වනවිට ප්‍රජාව තුළින් ආසාදිතයන් හමුවන හෙයින් වික්ටෝරියා ප්‍රාන්තයේ තත්ත්වය ඉතා නරක අතට හැරී තිබෙනවා. මෑතකදී දිනෙක එක් දිනක් තුළ ආසාදිතයින් 484 ක් එම ප්‍රාන්තයෙන් පමණක් හමුවුණා.

චාමර සුමනපාල

Recommended For You

About the Author: Editor