
ලොක්ඩවුන් තත්ත්වයට පෙර බීබීසීය නිෂ්පාදනය කළ කෙටි වාර්තා චිත්‍රපටයකින් ග්ලැස්ටන්බර්ග් වෙත පෙම් බැඳි මිනිසුන්ගේ අදහස් පිළිබිඹු විය. බීබීසීයට ඔවුන් හමුව තිබුණේ වසර 110ක ඉතිහාසයක් ඇති Kinight’s Fish and Chip Shop හිදීය. එය පවුල් ව්‍යාපාරයකි. මේ වනවිට එය පාලනය කරමින් සිටින්නේ සිව්වැනි පරම්පරාවය. සතියකට වරක්, මසකට වරක් ආදී වශයෙන් ග්ලැස්ටන්බරි වෙත පැමිණෙන්නට හුරු වූ අය බොහෝය. Kinight’s Fish and Chip Shop අවන්හලේදී හමුවූ වැඩි දෙනකුද එවැනි අයයි. වසර 50ක් 60ක් තිස්සේ නොකඩවා එහි පැමිණෙන අයද ඒ අතර සිටී. ග්ලැස්ටන්බරි සැණකෙළියට සහභාගිවන්නන් අතරද එවැනි අය වෙති. ළමාවියේ පටන්ම ඊට සහභාගි වන අයද, එහිදී දැන හඳුනාගෙන ආවාහ විවාහ කරගත් අයද, මිත්‍ර සබඳකම් ගොඩනගාගත් අයද බොහෝය.
සැණකෙළියේ පනස් වැනි සංවත්සරය යෙදී තිබුණේ ගෙවී ගිය සති අන්තයටය. සමර්සෙට්හි පිහිටි Worthy ගොවිපොළේදී පැවැත්වීමට සූදානම් කර තිබූ සැණකෙළිය කොවිඩ්-19 හේතුවෙන් අවලංගු වුවද ලබන වසරේදී ද්විත්ව සැණකෙළියක ස්වරූපයෙන් මෙය පැවැත්වෙනු ඇතැයි සංවිධායිකා එමිලි එවිස් පවසයි. මෙය සංවිධානය කිරීම වෙනුවෙන් ඇය 1999 සිට සිය පියා වන මයිකල් එමිස්ට සහාය වේ. එවිස් මෙහි නිර්මාතෘවරයකු ලෙසද ප්‍රකටය. මෙවර සැණකෙළියට පෝල් මැකාර්ති, ටේලර් ස්විෆ්ට්, කෙන්ද්‍රික් ලැමාර් වැනි ශිල්පීහු සහභාගි වීමට නියමිතව සිටියහ.
‘‘අපට මෙය අවශ්‍යයි. ජනතාවට මෙය අවශ්‍යයි. අපි හැමෝටම මේ වගේ ඒකරාශි වීමක් අවශ්‍යයි’’ යනුවෙන් පවසන ඇය දැනටමත් 2021 වසරේ සැණකෙළිය සඳහා ශිල්පීන්ගේ දින වෙන් කරවාගෙන අවසන් බවද කියයි.
‘‘නරඹන්නන් මවිත කළ හැකි අංග සහිතව අප මේ 50 වැනි සැණකෙළි උළෙල සංවිධාන කළා. ඒ දේවල් ලබන වසරේදී දැක ගැනීමට ලැබේවි. 2021 කරන දේවල් දැන්ම සංවිධාන කිරීම ගැන තර්කානුකූලව බැලුවොත් තරමක් සංකීර්ණ තත්ත්වයක් වුණත් ඇති වෙන්න පුළුවන්.’’
මෙවර සැණකෙළිය සඳහා ප්‍රවේශපත් 135,000ක් පමණ අලෙවි වී තිබිණි. සමස්තයක් ලෙස 200,000ක පමණ පිරිසක් ඊට සහභාගි වීමට නියමිත විය. ලබාගත් ප්‍රවේශපත් ලබන වසර සඳහා වලංගු බව එමිලි එවිස් කියයි. අවලංගු කළ සහ ආපසු භාරදුන් ප්‍රවේශපත්‍රද පසුව අලෙවි කිරීමට නියමිතය.
මෙවර සැණකෙළිය නොපැවැත්වීමෙන් කම්පාවට පත්ව සිටින රසිකයන් උදෙසා බීබීසීය සති අන්තයේ පටන් පෙර වසරවල පැවති උළෙල නැවත විකාශනය කරමින් සිටී. එය තවත් දින කිහිපයක් විකාශනය කෙරේ. එහිදී ප්‍රසංගවලට අමතරව ග්ලැස්ටන්බරි සැණකෙළිය පිළිබඳ වාර්තාමය වැඩසටහන්ද විකාශනය වේ.
මේ වසරේ සැණකෙළියේදී පසුගිය දිනවල ඇමරිකාවේ කළු ජාතිකයන් දියත් කළ විරෝධතාවල පරිවර්තනීය පිළිබිඹුවක්ද නිරූපණය වීමට ඉඩ තිබූ බව ඒවිස් පවසා තිබිණි. ‘‘ගැටලුකාරී තත්ත්ව ගණනාවක් ගැන අප සංවේදී දේශගුණික විපර්යාසවලට එරෙහිව සහ ප්ලාස්ටික් භාවිතය තහනම් කිරීමට අප ගෙන යන ව්‍යාපාරයත් ඊට අයත්. ඒ වගේමයි වර්ණභේදවාදයට එරෙහිව නැගෙන හඬත් එහිදී නින්නාද දේවි.’’
ග්ලැස්ටන්බරි සැණකෙළියේදී ඔවුන්ගේම සමාජ ඉතිහාසය, දේශපාලන පසුතලය, සංගීතය, විලාසිතා ආදී සමාජ, දේශපාලන, සංස්කෘතික සාධක නියෝජනය වනු දැකිය හැකිය. සංස්කෘතික හුවමාරුවක්ද මෙහිදී සිදුවේ.
ආගමික සාධක ඔස්සේද ග්ලැස්ටන්බරි වෙත සංචාරකයෝ විශාල පිරිසක් ඇදී එති. ග්ලැස්ටන්බර්ග් කුඩා කඳු ගැටය සමර්සෙට්හි පිහිටා ඇති සුප්‍රකට ස්මාරක අතරට අයත්ය. ආතර් රජු මිහිදන් කර ඇත්තේ මෙහි බවට විශ්වාස කෙරේ. මෙහි දක්නට ලැබෙන 14 වැනි සියවසට අයත් කුලුනේ පියස්සක් නොමැත. එය ග්ලැස්ටන්බරිහි පිහිටි ආධ්‍යාත්මිකව ඇගයීමට ලක්වන යුදබිමක් බඳුය. මෙම ස්ථානයේ සිදුකළ කැණීම්වලදී නියොලිතික යුගයට අයත් මෙවලම් සහ රෝමානු කලා නිර්මාණ හමුවිය.
එම පළමු ශාන්ත මයිකල් දේවස්ථානය ක්‍රි.ව. 1275 දී ඇතිවූ මහා භූමි කම්පාවෙන් විනාශයට පත්ව ඇත. අනතුරුව එය 14 වැනි සියවසේදී නැවත ඉදි කෙරිණි. දේවස්ථානය නටබුන්ව ගියද එහි කුලුන අදටත් මෙලෙස දැකගත හැකිය. මේ වටා ගොඩනැගී ඇති අභිචාර හා පුද සිරිත් ඔස්සේ මධ්‍යතන යුගයේ සිටම එය කතෝලිකයන් වන්දනාවේ පැමිණි ස්ථානයක් විය. අවම වශයෙන් 12 වැනි සියවසේ පටන් ආතර් රජු හා මෙම ස්ථානය අතර සබැඳියාව නිර්මාණය වූ බව ඉතිහාසඥයන්ගේ අදහසය. ආතර් රජුගේ සහ බිසවගේ සුසානයත් මෙහි පිහිටා තිබූ බවද, පසුව ඒවා එතැනින් ඉවත් කර ඇති බවටද මත පළ විය. කෙසේ වුවද මෙවැනි මතිමතාන්තර හා විශ්වාස බොහෝමයක් ඒ වටා ගොඩනැගී තිබේ.
විසිවැනි සියවසේදී සිදුවූ පුරාවිද්‍යාත්මක ගවේෂණවලදී මෙහි ඇති දේවස්ථානය හා ස්මාරකවල පසුබිම පිළිබඳ යම් තොරතුරු අනාවරණය කළද ඉතිහාසයේ තවත් නොවිසඳුණු තැන් තිබේ.
නියොලිතික යුගයේ පටන් ජනශූන්‍ය ප්‍රදේශයක් බවටපත්වූ ග්ලැස්ටන්බර්ග් මේ වනවිට ජනගහනයද දස දහසකට අඩුය. ග්ලැස්ටන්බරි ඇළ මාර්ගය, දුම්රිය ස්ථානය ආදිය ඉදිවීමත් සමග එය වාණිජ කේන්ද්‍රස්ථානයක් බවටද පත්විය. එය සොබා සෞන්දර්යයෙන්ද අනූන පෙදෙසකි.
ග්ලැස්ටන්බරි කේන්ද්‍ර කරගනිමින් සාහිත්‍ය නිර්මාණද බිහි විය. 1904දී චාල්ස් විස්ට්ලර් ලියූ ‘A Prince of Cornwall’ නවකතාවටද ආතරියානු බ්‍රිතාන්‍යය අලළා බර්නාඩ් කොර්න්වෝල් ලියූ තුන් ඈඳුතු ප්‍රබන්ධද ඒ අතරින් වඩාත් ප්‍රකටය. අගෝස්තු මාසයේදී එහි ළමා සැණකෙළියක්ද වාර්ෂිකව පැවැත්වේ.
ග්ලැස්ටන්බරි යනු හිපි සංස්කෘතිය (Hippie Culture) පිළිබිඹු වන තැනක් බව ප්‍රකටය. ග්ලැස්ටන්බරි සැණකෙළියේද එම සංස්කෘතිකාංග දැකගත හැකිය.
ධම්මික සෙනෙවිරත්න