වරදක් නැත්නම් ප්‍රශ්න කරනවට බය වෙන්න ඕන නෑ: තරග පාවාදීමේ චෝදනාව ගැන සංගා කියයි

තමන් අතේ වරදක් නැත්නම් යම් සිද්ධියක් පිළිබඳ ප්‍රශ්න නගද්දී ඊට පිළිතුරු දීමට බියවීමේ අවශ්‍යතාවක් නැතැයි හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර පවසනවා.


Cricbuzz වෙබ් අඩවිය වෙනුවෙන් හර්ෂා බෝස්ලේ සමග කළ සාකච්ඡාවකදී ඔහු පැහැදිලි කළේ එවන් සිද්ධීන් හා චෝදනා පිළිබඳ පරීක්ෂණ පැවැත්වීම යහපත් දෙයක් බවයි.


චෝදනා එල්ල කරන්නන්ගේ අරමුණු සහ අභිලාෂයන් කෙසේ වුණත්, තමන් නිවැරදි නම්, තමන්ගේ පාර්ශවය වෙනුවෙන් නිරවුල්ව කරුණු දැක්වීමට එවන් පරීක්ෂණ ඉතා හොඳ අවස්ථාවක් ලබාදෙන බව සංගක්කාර පවසනවා. හිටපු ක්‍රීඩා ඇමති මහින්දානන්ද අලුත්ගමගේ විසින් 2011 ලෝක කුසලාන අවසන් මහා තරගය පාවා දුන් බවට වූ ප්‍රකාශය පිළිබඳ තමන් කණගාටුවට පත් වූ බවත් ඇතැම් විට එය හාස්‍යය උපදවන ආකාරයේ ද සිද්ධියක් වූ බවත් සංගක්කාර පවසනවා.


ඇතැම් වැරදි සහිත පුද්ගලයන් ලෝකය දෙස බලද්දී ඔවුන්ගේ සිත්වල ඇති අනාරක්ෂිතභාවයන් පෙනෙන්නට පටන් ගන්නා බව සංගක්කාර පවසනවා. තරග පාවාදීම් ආදී දූෂණ සහ අක්‍රකමිකතා ක්‍රීඩාවේ කොටසක් බවට පත්වීම කණගාටුදායක බව පෙන්වා දෙන සංගක්කාර, ලංකාවේ එම තත්ත්වයට එක් හේතුවක් ලෙස තරුණ ක්‍රීඩකයන්ට ප්‍රවීණයන්ගේ ඇසුර අහිමි වීම දකිනවා. ඔහු ක්‍රීඩා කරන සමයේ ක්‍රීඩා සමාජවල ප්‍රවීණ ක්‍රීඩකයන් රැසක් වූ බවත් ඔවුන් තරුණ ක්‍රීඩකයන්ට ආදර්ශයක් වූ බවත් පවසන සංගක්කාර ක්‍රීඩාවේ ජීවගුණය ඔවුන්ගෙන් උගත හැකිවූ බව කියා සිටිනවා. වර්තමානයේ ක්‍රීඩා සමාජ තරගවලට ලැබෙන අඩු අවධානය සමග ඒවායේ යෙදීමට වඩා පිටරටක ගොස් ක්‍රීඩා කිරීම කෙරෙහි බොහෝ ක්‍රීඩකයන් පෙළඹෙන බවයි ඔහු පෙන්වා දෙන්නේ. මෙසේ පළමුපෙළ ක්‍රීඩාව කඩා වැටීම මෙම ගැටළුවට ප්‍රධාන හේතුවක් බව සංගක්කාර පවසනවා.

අදාල සම්මූඛ සාකච්ඡාව පහතින් නරඹන්න

Recommended For You

About the Author: Editor