
ඡන්ද රැස්වීම් වලදී රථ පෙළපාළි සිදුකරන බවට පැමිණිලි රැසක් ලැබී ඇති බවත් එවැනි සිද්ධීන් සම්බන්ධයෙන් නීතිය දැඩිව ක්රියාත්මක කරන බවට තමන් වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් ලබාදී ඇති බවත් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්රිය මහතා පවසයි. පසුගිය දින කිහිපය තුළදීම ඡන්ද රැස්වීම් අතරතුර රථ පෙළපාලි පවත්වන බවට පැමිණිලි ලැබී අතර පුත්තලම, කල්මුණේ, හම්බන්තොට, නැඟෙනහිර පළාතේ ඇතැම් ස්ථානවල මෙවැනි රථ පෙළපාළි පවත්වා ඇති බවත් සභාපතිවරයා පැවසීය.
මෝටර් බයිසිකල් විසිපහක් තිහක් ආදි ප්රමාණයක් යොදා ගනිමින් සිදුකරන මෙවැනි පෙළපාළි මඟින් ජනතාව බිය වැද්දීම, තම දේශපාලන පක්ෂය ඉස්මතු කිරීමට උත්සාහ කිරීම ආදි විවිධ උත්සාහයන් සඳහා ඇතැමුන් උත්සාහ කළද මෙවැනි ක්රියාවන් සඳහා කිසිඳු ඉඩක් ලබාදිය නොහැකි බවද සභාපතිවරයා කීය.
ඇතැම් ස්ථාන වල අශ්වයින් වැනි සතුන් පවා යොදාගෙන පෙළපාළි යන බවට පැමිණිලි ලැබී ඇති අතර ඊයේ (27) පැවැති දේශපාලන පක්ෂ නියෝජිතයින් හා පක්ෂ ලේකම්වරුන් අතර පැවැති සාකච්ඡාවේදීත් මේ පිළිබද අවධානය යොමු කළ බව සභාපතිවරයා සඳහන් කළේය.