ඉෂාලිනී නම් දැරියගේ දෙවන පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා විශේෂඥ වෛද්‍ය නිලධාරී කණ්ඩායමක්….

පසුගිය දා පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ සිටියදී මියගිය එම දැරියගේ දෙවන පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ නම් කිරීම සහ නීතිපතිවරයාගේ නිර්දේශ මත, අධිකරණය විසින් විශේෂඥ වෛද්‍ය නිලධාරී කණ්ඩායමක් නම්කර තිබෙන බව වාර්තා වේ.

එම වෛද්‍ය නිලධාරී කණ්ඩායමට අයත් වන්නේ කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අධිකරණ වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්ය වෛද්‍ය ජීන් පෙරේරා, කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අධිකරණ වෛද්‍ය විද්‍යා අංශයේ ප්‍රධානී සහ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වෛද්‍ය සමීර ගුණවර්ධන, පේරාදෙණිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය විද්‍යාව පිළිබඳ විශේෂඥ අධිකරණ වෛද්‍ය ප්‍රභාත් සේනසිංහ යන අයයි.

දැරියගේ අවසන් කටයුතු සිදු කළ ඩයගම ප්‍රදේශයේ සුසාන භූමියෙන් දේහය ගොඩගැනීම ලබන සිකුරාදා (30) මෙම විශේෂඥ අධිකරණ වෛද්‍ය මණ්ඩලය විසින්සිදු කරන අතර අදාල කටයුතු එම ප්‍රදේශයේ මහේස්ත්‍රාත්වරයාගේ අධික්ෂණය යටතේ සිදු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.

මෙහිදී දැරිය මියගිය ආකාරය, ඇය දුෂණයකට ලක්වී ඇත් ද ? එසේ නම් එම කාල පරිච්ඡේදය කුමක් ද යන්න මෙන්ම මෙම දැරියට කෘර වදහිංසා හෝ වෙනත් හිංසන සිදුකර ඇත් ද යන මේ සියලු කරුණු සම්බන්ධයෙන් ත්‍රිපුද්ගල විශේෂඥ අධිකරණ වෛද්‍ය මණ්ඩලය විසින් වාර්තා ලබාගැනීමට නියමිත වැඩිදුරටත් සඳහන් වේ.

Recommended For You

About the Author: Jayani