
දෙවන බුවනෙකබාහු රාජ සභා මණ්ඩපය කඩා දැමුවා යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ මහතා අත්අඩංගුවට ගෙන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස වැඩ බලන පොලිස්පතිවරයාට සහ කුරුණෑගල මූලස්ථාන පොලිස් ස්ථානාධිපතිවරයාට නියෝග කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට ඊයේ (28) රිට් පෙත්සමක් ගොනු කරන ලැබීය.
1940 අංක 09 දරන පුරාවිද්‍යා පනත යටතේ වන වරදක් කිරීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව පියවර ගන්නා ලෙස පෙත්සමෙන් ඉල්ලා ඇත. කුරුණෑගල හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු සහ අපේ ජන බලවේගයේ අපේක්ෂකයකු වන නාමල් කරුණාරත්න විසින් මෙම පෙත්සම ගොනු කර ඇත. වැඩ බලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න, කුරුණෑගල මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ඒ.එම්.කපිල අධිකාරි, පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල් මහාචාර්ය සෙනරත් දිසානායක, කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ, කුරුණෑගල නගර සභාව සහ නීතිපතිවරයා මෙහි වගඋත්තරකරුවෝ වෙති.
ක්‍රි.ව. 1293 – 1302 අතර කාලයේ කුරුණෑගල රාජධානියේ රජකම් කළ II බුවනෙකබාහු රජතුමා විසින් ඉදි කළ රාජ සභා මණ්ඩප ගොඩනැගිල්ල කුරුණෑගල නගර මධ්‍යයෙහි පිහිටා තිබූ බව පෙත්සමෙහි සඳහන් වේ.
පෞද්ගලික හෝටලයකට එම ඉඩම බදු දී තිබූ අතර පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් සංරක්ෂණය කළ යුතු පුරාවස්තුවක් ලෙස එය හඳුනාගෙන තිබූ බව ද පෙත්සම්කරු කියයි. එය නැරඹීම සඳහා දෙස් විදෙස් සංචාරකයන් පැමිණි බව ද සඳහන් වේ. ඉකුත් මැයි මස 23 දින උතුරුමැද පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සහකාර අධ්යක්ෂවරයා කුරුණෑගල නගරාධිපතිවරයාට ලිපියක් යවමින් එම රාජ සභා මණ්ඩපයේ පුරාවිද්‍යාත්මක වටිනාකම පිළිබඳව පැහැදිලි කර ඇත. එය ආරක්ෂා කළ යුතු පුරාවිද්‍යා ස්මාරකයක් බවට ද එහි සඳහන් කර ඇත. මෙකී සිද්ධිය පිළිබඳව විමර්ශනය කිරීමට අගමැතිවරයා විසින් පංච පුද්ගල විනිසුරු මඬුල්ලක් පත් කළ අතර එහි අතුරු වාර්තාවක් ජූලි මස 22 දින බාර දුන් බව ද පෙත්සම්කරු පෙන්වා දෙයි. එම රාජ සභා මණ්ඩපය කඩා බිඳ දැමූ අයට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස එම කමිටු වාර්තාව මඟින් නිර්දේශ කර තිබෙන බවත් දැනගන්නට තිබෙන බව ද පෙත්සම්කරු සඳහන් කර සිටී. එහෙත් නගරාධිපතිවරයා අත්අඩංගුවට ගෙන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන නැතැයි පෙත්සමෙහි සඳහන් වේ. කෙසේ වුවද II බුවනෙකබාහු රාජ සභා මණ්ඩපය විනාශ කර දැමූ නගරාධිපතිවරයාට එරෙහිව නීතිමය පියවර නොගැනීම අසාධාරණ, අත්තනෝමතික බව ද පෙත්සම්කරු කියයි. දේශපාලන අවශ්‍යතාවයන් මත එලෙස නීතිමය පියවර නොගැනීම මඟින් වැඩ බලන පොලිස්පතිවරයා සහ කුරුණෑගල මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා විසින් ජනතාවගේ විශ්වාසය ආරක්ෂා කර ගැනීමට අපොහොසත්ව ඇතැයි පෙත්සමෙහි සඳහන් වේ.
නීතිඥ සුනිල් වටගල මඟින් මෙම පෙත්සම ගොනු කර ඇත.