සංස්කෘතික අරමුදලේ බිලියන 11ක වංචාවක්

යහපාලන’ රජය සමයේ මධ්‍යම සංස්කෘතික අරමුදලේ රුපියල් බිලියන 11ක මූල්‍ය වංචාවක් සිදුව ඇති බව මධ්‍යම සංස්කෘතික අරමුදලේ සිදුවූ අක්‍රමිකතා සහ අවභාවිතයන් සොයා බැලීමට පත් කළ කමිටුව පෙන්වා දෙයි. මෙම අක්‍රමිකතා පිළිබඳ කමිටු වාර්තාව අගමැති මහින්ද රාජපක්ෂට ඊයේ (28දා) පස්වරුවේ භාරදෙන ලදී.

විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු ගාමිණි සරත් එදිරිසිංහ, කැබිනට් අමාත්‍යාංශ හිටපු ලේකම් ගෝඨාභය ජයරත්න සහ ජ්‍යෙෂ්ඨ නීතිඥ හරිගුප්තා ​රෝහණධීර එහි සාමාජිකයන්ය.

එම විමර්ශන කමිටුවේ හඳුනාගෙන ඇති මූල්‍ය අවභාවිතාවන් මෙසේය.

නියමිත අනුමැතියකින් තොරව ස්ථාවර තැන්පත් ආපසු ගැනීමේ හා තැන්පත් පොලිය ආදායම් අහිමිවීමෙන් රුපියල් මිලියන 2608ක්ද, නීත්‍යානුකූල අනුමැතියකින් තොරව සිසු දහම් සෙවණ වැඩසටහන යටතේ ඉදිකිරීම් සඳහා රුපියල් මිලියන 753ක්ද, සංචාරක ප්‍රවේශ පත්‍රවල ඩොලර් ආදායම රුපියල්වලට පරිවර්තනය කිරීමේදී සිදුවූ අලාභය ලෙස රුපියල් මිලියන 48ක්ද, පුරාවිද්‍යා භාරය සඳහා නියමිත දායකත්ව මුදල් නොගෙවා නීති විරෝධීව වෙනත් කටයුතු සඳහා වැයකළ මුදල රුපියල් මිලියන 2266ක්ද, අපේ ගම ව්‍යාපෘතියේ දේපළ පැවරීමේ දී සිදුවූ අලාභය රුපියල් මිලියන 8ක්ද, විධිමත් අනුමැතියකින් තොරව සංස්කෘතික ආධාර හා ප්‍රදාන ලෙස ලබාදුන් රුපියල් මිලියන 2316ක්ද, බඳවා ගැනීමේ පටිපාටියේ අනුමත සීමා ඉක්මවා අවිධිමත් බඳවා ගැනීම් සඳහා වැටුප් හා දීමනා ලෙස රුපියල් මිලියන 3,060ක්ද, වශයෙන් රුපියල් මිලියන 11059ක මුදල් අවභාවිතයක් සිදුව ඇත. සිදුව ඇති මූල්‍යමය අක්‍රමිකතා සහ අවභාවිතයන් මෙන්ම පරිපාලන අක්‍රමිකතා වෙනුවෙන් අදාළ පාර්ශ්වයන් සඳහා නීතිමය ක්‍රියාමාර්ග ගැනීමටද නිර්දේශ කර ඇත.

එසේම මධ්‍යම සංස්කෘතික අරමුදල සතුව ඇති ඩොලර් ගිණුමෙන් ද නීති විරෝධීව මුදල් නිදහස් කරගෙන ඇති අතර පසුගිය ජනාධිපතිවරණ සමයේදී ස්ථාවර ගිණුමෙන් රුපියල් මිලියන 400ක් කිසිදු අනුමැතියකින් තොරව නිදහස් කර ඇත.

මහා භාණ්ඩාගාරයේ අනුමැතියකින් තොරව මධ්‍යම සංස්කෘතික අරමුදල ජංගම ගිණුම් 25ක් අරඹා ඇති අතර, මුදල් රෙගුලාසි උල්ලංඝනය කරමින් උපාංග මිලදී ගැනීම්, විදේශ ආදායම් සහිත අරමුදල් ව්‍යාපෘතිවල මුදල් ගිණුම්ගත කිරීමේ දෝෂ සහ ගෙවීමේ පටිපාටියෙන් බැහැර මුදල් ගෙවීම් සඳහා පසුව ලේඛන සකස් කර ඇති බවත් අනාවරණය කරගෙන තිබේ.

2019 වර්ෂය පුරා කළ අවිධිමත් වියදම් සඳහා අනුමැතිය ලබාගැනීමට 2019.11.15 දින අධ්‍යක්ෂ මණ්ඩලයක් කැඳවා ඇත. එයට සාමාජිකයින් 5 ක් සහභාගි වී ඇති නමුත් සහභාගි නොවූ අන් සාමාජිකයින්ගේද අත්සන් ලබාගෙන ඇත. මෙම අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේ නීත්‍යනුකූලභාවය පිළිබඳව ගැටලු ඇතැයි සඳහන් කරන කමිටුව සාමාජික අත්සන් තහවුරු කරගැනීම සුදුසු බවද අවධාරණය කරයි.

කමිටු වාර්තාව භාරදුන් අවස්ථාවට කමිටු සාමාජිකයන්, අගමැති ලේකම් ගාමිණී සෙනරත්, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම්වරුන් වන චමින්ද කුලරත්න, ගනේෂ් ධර්මවර්ධන යන මහත්වරුද සහභාගි වූහ.

Recommended For You

About the Author: Editor