
ජෝර්දානයේ අසීරුතාවට පත්ව සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට අවශ්‍ය පහසුකම් කඩිනමින් සැලසීමට මේ වන විටත් පියවර ගෙන ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය ප්‍රකාශ කරයි.
එහි මාධ්‍ය ප්‍රකාශක මංගල රන්දෙණිය සඳහන් කළේ පසුගිය 27 වැනිදා එරට තානාපති කාර්යාල නිලධාරින් සහ ශ්‍රී ලාංකිකයන් අතර උද්ගත වූ උණුසුම්කාරී තත්ත්වය මේ වන විට මුළුමනින්ම පාලනය කිරීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශය මැදිහත් ව සිටින බවයි.
’’මේ පිළිබඳ සොයා බැලීමට ජෝර්දානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරින් අදාළ ස්ථානයට ගියා. ඒ අවස්ථාවේ දී සිදුවුණු යම් බහින්බස් වීමක් නිසා ඇතිවූ තත්ත්වය මැඬපැවැත්වීමට ඒ රටේ පොලිසියට කඳුළු ගෑස් එල්ල කරලා තියෙනවා.
ඒ සියලු තත්ත්වයන් විසඳාගෙන, ඔවුන්ට අවශ්‍ය සියලු පහසුකම් සලසන්න ප්‍රතිපාදන ජෝර්දානයට යැව්වා. ඒවායින් ශ්‍රමිකයන්ට අවශ්‍ය ආහාර හා සනීපාරක්ෂක ද්‍රව්‍ය දෙන්න උපදෙස් දුන්නා. ’’ යැයිද මංගල රන්දෙණිය මහතා පැවසීය.
කොවිඩ් -19 වසංගතය හේතුවෙන් රැකියා අහිමිව ජෝර්දානයේ අල්කාරා කැටල් වෙගා කර්මාන්ත පුරයේ සිරවී සිටි ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් පිරිසක් සහ ඔවුන්ගේ ගැටලු සොයා බැලීමට එහි ගිය එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරින් අතර පසුගිය 27 වැනිදා උණුසුම්කාරී තත්ත්වයක් නිර්මාණය විය.
එහිදී ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් විසින් තානාපති කාර්යාල නිලධාරින්ව සිය භාරයට ගනු ලැබූ අතර, ශ්‍රී ලාංකිකයන්ට ආහාර සඳහා ඉතිරිව තිබූ රළු ආහාරවලින් කොටසක් අදාළ නිලධාරින්ට බලහත්කාරයෙන් කැවීමටද කටයුතු කර තිබිණි.
මේ අතර, එහි සිටි ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් පිරිසක් විසින් ඔවුන්ව වහාම දිවයිනට ගෙන්වා ගන්නැයි ඉල්ලා පැය පහකට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ කම්කරු අංශයේ නිලධාරින් පිරිසක් ප්‍රාණ ඇපකරුවන් ලෙස රඳවා තබා ගෙන ඇති බව ජෝර්දානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. අදාළ ශ්‍රමිකයින්ගේ සුබසාධනය පිළිබඳව සොයා බැලීම සඳහා කරකස්හි කැමල් ඇන්ඩ් වේගා කම්හල වෙත ගිය ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ කම්කරු අංශයේ නිලධාරින් එලෙස ඔවුන් විසින් රඳවාගෙන තිබේ.
එම තත්ත්වය සමනය කිරීම සහ තානාපති කාර්යාලයේ නිලධාරීන් නිදහස් කිරීම සඳහා ජෝර්දාන පොලිසිය එහි කැඳවා ඇතැයි ද තානාපති කාර්යාලය සඳහන් කරයි. තානාපති කාර්යාලය නිකුත් කළ එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ පසුගිය 22 වැනිදා තානාපති කාර්යාලයේ නිලධාරීන් විසින් එම කර්මාන්ත ශාලාවේ දීම වියළි සලාක සහ සනීපාරක්ෂක ද්‍රව්‍ය ඇසුරුම් 375 ක් බෙදා දී ඇති බවයි.