මාස හයේ STF මෙහෙයුමෙන් සැකකරුවන් 70 ක් අත්අඩංගුවට

ජනවාරි මස සිට මේ දක්වා පොලිස් විශේෂ කාර්ය බළකාය සංවිධානාත්මක අපරාධවලට එරෙහිව සෘජු වැටලීම් 62 ක් සිදුකර සැකකරුවන් 70 ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න පැවැසීය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ පොලිස් මූලස්ථානයේ ඊයේ (28දා) පැවැති මාධ්‍ය හමුවකදීය.

හෙරොයින් ඇතුළු විෂ මත්ද්‍රව්‍ය සම්බන්ධ වැටලීම් 1407 ක් සිදුකර සැකකරුවන් 1303 ක් අත්අඩංගුවට ගෙන තිබේ. වැටලීම් 109 ක් සිදුකර හෙරොයින් කිලෝ 116 ක්, අයිස් නමැති මත්ද්‍රව්‍ය, කේරල ගංජා කිලෝ 1602 ක් සහ සැකකරුවන් සිය දෙනකුද අත්අඩංගුවට ගත් බව හෙතෙම සඳහන් කළේය.

අක්කර 58 ක වගා කර තිබූ ගංජා කිලෝ ග්‍රෑම් 2439 ක් සොයාගෙන ඇත්තේ වැටලීම් 215 ක් සිදු කරමිනි.

නීති විරෝධී ගිනි අවි සොයා වැටලීම් 136 ක් සිදුකර පිස්තෝල 3 ක්, රිවෝල්වර 4, ටී පනස් හය 15 ක්, ෂොට්ගන් වර්ගයේ අවි 42, මෙරට නිෂ්පාදිත වෙනත් අවි 80, වර්ගය හඳුනා නොගත් ගිනි අවි 15 ද පොලිස් භාරයට ගෙන තිබේ.

එයට අමතරව සජීවී පතුරම් 1018 ක්, මැගසින් අටක්, අත්බෝම්බ 47 ක්ද සමග සැකකරුවන් 84 දෙනකු අත්අඩංගුවට ගැනීමට හැකිවූ බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකයා සඳහන් කළේය.

ඊයේ (28දා) සිට හඳුන්වා දුන් 1997, 1917 දුරකථන අංකවලට දූෂණ වංචා, සංවිධානාත්මක අපරාධ පිළිබඳව තොරතුරු රාශියක් ගලා එමින් පවතින බවද එයට අමතරව නව විද්‍යුත් තැපැල් ලිපිනයක්ද 1997@police.lk හඳුන්වා දී තිබෙන බවද පැවැසීය.

එසේම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ වත්කම් හා මුදල් විශුද්ධිකරණය යටතේ උපයා ගත් මුදල් සම්බන්ධව තොරතුරු ලබාදීමට 1997@police.lk යන විද්‍යුත් ලිපිනය මගින් දැනුවත් කළ හැකි බවද සඳහන් කළේය. මහජනතාවට තොරතුරු ලබාදීම සඳහා 0112440440 යන ෆැක්ස් අංකය ඔස්සේද සිදුකළ හැකි අතර ලිපි මගින් එම තොරතුරු සපයන්නේ නම් පොලිස්පති, මාණ්ඩලික නියෝජ්‍ය පොලිස්පති, පොලිස් මූලස්ථානය, කොළඹ 1 යන ලිපිනයට යොමු කළ හැකි බවද සඳහන් කරන ලදී.

අපරාධ වැටලීම් 62 ක්, මත්ද්‍රව්‍ය වැටලීම් 1407 ක්,

නීති විරෝධී ගිනි අවි වැටලීම් 136 ක්

Recommended For You

About the Author: Editor