මැතිවරණයට දින 24ට කෝටි 159ක් වියදම් කරලා

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට තරග කරන දේශපාලන පක්ෂ 40 විසින් ඉකුත් 02 වැනිදා (ජූලි) සිට 26 වැනිදා දක්වා දින 24 ක කාලයේදී මැතිවරණ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් රුපියල් මිලියන එක්දහස් පන්සිය අසූහතක් වියදම් කර ඇතැයි මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය පවසයි.

මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය කොළඹදී ඊයේ (29 වැනිදා) පවත්වන ලද මාධ්‍ය හමුවකදී මෙම තොරතුරු අනාවරණය කරන ලදී.

මුද්‍රිත මාධ්‍ය, විද්‍යුත් මාධ්‍ය සහ සමාජ ජාලා මාධ්‍යවල ප්‍රචාරණ කටයුතු සඳහා මෙම මුදල් වියදම් කර ඇත.

මැතිවරණ ප්‍රචාරක කටයුතු ආරම්භ වූ මුල් දින තුනේදී සමගි ජන බලවේගය මැතිවරණ ප්‍රචාරණ වියදම්වලින් මුල්තැන ගෙන සිටියද, මේ වනවිට මැතිවරණ ප්‍රචාරණ වියදම්වලින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පෙරට පැමිණ ඇතැයි මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ ජාතික සම්බන්ධීකාරක මංජුල ගජනායක පැවසීය.

ඒ ඒ දේශපාලන පක්ෂ විසින් මැතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා වියදම් කරන ලද ඇස්තමේන්තු ගත පිරිවැය මෙසේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ රුපියල් මිලියන 872,සමගි ජන බලවේගය රුපියල් මිලියන 416,එක්සත් ජාතික පක්ෂය රුපියල් මිලියන 219,ජාතික ජන බලවේගය රුපියල් මිලියන 47.3,අපේ ජනබල පක්ෂය රුපියල් මිලියන 22,ඉලංකෙයි තමිල් අරසු කච්චි රුපියල් මිලියන 03 ක් වියදම් කර ඇත.

පාර්ලිමේන්තු මැතිවරණයට තරග කරන අනෙකුත් දේශපාලන පක්ෂ මැතිවරණ ප්‍රචාරණ වියදම් සඳහා වැයකර ඇති ඇස්තමේන්තුගත මුදල රුපියල් මිලියන 18 කි. මෙලෙස අනාවරණය වී ඇත්තේ මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා ඒ ඒ දේශපාලන පක්ෂ විසින් වැය කරන ලද මුදලින් සියයට 30 ක ප්‍රතිශතයක් පමණක් බවද මංජුල ගජනායක කීවේය.

බදුල්ල දිස්ත්‍රික්කයෙන් තරග කරන අපේක්ෂකයෙක් මැතිවරණ ප්‍රචාරණ කටයුතුවලදී රුපියල් පන්දහස බැගින් රුපියල් කෝටි දෙකක මුදලක් වතුකරයේ ජනතාවට බෙදා හරින ලද බවට තොරතුරු ලැබී ඇතැයිද ඔහු පවසයි.

මාතර දිස්ත්‍රික්කයේ එක් දේශපාලනඥයකු එක් දිනකදී සිය මැතිවරණ ප්‍රචාරණ කටයුත්තක් සඳහා රුපියල් විසිහත් ලක්ෂ හතළිස් පන්දහක (2,745,000) මුදලක් වියදම් කර ඇති බව මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය සඳහන් කරයි. මෙම අපේක්ෂකයා ඉකුත් දින 24 ක කාලයේදී මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා වැය කරන ලද මුදල රුපියල් මිලියන 468 කි.

එක් ඡන්දදායකයෙකු සඳහා නිල සහ වක්‍රව රුපියල් 3000.00 ක මුදලක් වැය කෙරෙන බව මෙම තොරතුරුවලින් අනාවරණය වන බවද මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ ජාතික සම්බන්ධීකාරකවරයා කීවේය.

Recommended For You

About the Author: Editor