දංකොටුවේ අරක්කු හොරට ගහන මැෂිමක් කළුතර

කළුතර දකුණ හීනටියන ප්‍රදේශයේදී පවත්වාගෙන ගිය නීති විරෝධී අරක්කු නිෂ්පාදනාගාරයක් වටලා සැකකරුවන් පස් දෙනකු සහ මත්පැන් තොගයක් ඊයේ (29 වැනිදා) කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ලේබල් ගසා විකිණීමට සූදානම් කර තිබූ හා නොකළ මිලි ලීටර් 175 අරක්කු බෝතල් 500 කට අධික ප්‍රමාණයක් මෙන්ම ස්ප්‍රීතු ලීටර් 2000 කට අධික ප්‍රමාණයක්ද සොයාගෙන තිබේ.

දංකොටුව ප්‍රදේශයේ පවත්වාගෙන යනු ලබන නීත්‍යනුකූල මත්පැන් නිෂ්පාදන සමාගමක නාමය යොදාගෙන මෙම මත්පැන් නිපදවා ඇති බවට විමර්ශනවලදී අනාවරණය වී ඇත. නවීන තාක්ෂණය සහිත යන්ත්‍ර උපයෝගී කොටගෙන මෙම මත්පැන් නිපදවා ඇසුරුම් කර ඇත.

වැඩිදුර විමර්ශන කොළඹ අපරාධ කොට්ඨාසය විමර්ශන සිදු කරයි.

මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් සුරාබදු දෙපාර්තමේන්තුවද විමර්ශනයක් ආරම්භ කර ඇත. කළුතර සහකාර සුරාබදු කොමසාරිස්ගේ ප්‍රධානත්වයෙන් යුත් කණ්ඩායමක් විමර්ශන ආරම්භ කර ඇති අතර එහි සාම්පලද ගෙන රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත යොමු කිරීමට නියමිත බව සුරාබදු නියෝජ්‍ය කොමසාරිස් කපිල කුමාරසිංහ පවසයි.

මේ ආකාරයට නීති විරෝධීව නිෂ්පාදනය කරන මත්පැන් වෙළෙඳපොළේ තිබිය හැකි බවද ඔහු පෙන්වා දුන්නේය.

කෘත්‍රිම රා භාවිත කරමින් මෙලෙස මනුෂ්‍ය පරිභෝජනයට නුසුදුසු බාල වර්ගයේ මත්පැන් නිෂ්පාදනය වන බව නව සිහළ රාවය සංවිධානය ඇතුළු සංවිධාන රැසක් සුරාබදු දෙපාර්තමේන්තුවට ද පැමිණිලි කර තිබේ.

Recommended For You

About the Author: Editor