
සමගි ජන බලවේගය සමග එක්වෙමින් එක්සත් ජාතික පක්ෂය හැරගිය තවත් කණ්ඩායම් කිහිපයක් ඉදිරියේදී අදියර කිහිපයක් යටතේ පක්ෂයෙන් නෙරපන බව එජාප උප නායක රවි කරුණානායක පැවසීය. ඔහු මෙම අදහස් පළ කළේ ඊයේ (29 වැනිදා) එම පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
මෙවර මහ මැතිවරණයට සමගි ජන බලවේගයෙන් නාම යෝජනා භාරදුන් අපේක්ෂකයන් පනස්හතර දෙනකුගේ සහ එක්සත් ජාතික පක්ෂයෙන් තේරී පත් වූ පළාත් පාලන මන්ත්‍රීවරු හැටඑක් දෙනකුගේ එජාප සාමාජිකත්වය අහෝසි කිරීමට එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය පෙරේදා (28 වැනිදා) තීරණය කළේය. එජාප මහ ලේකම්වරයා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ඊයේ (29 වැනිදා) සඳහන් කළේ අදාළ තීරණය ගනු ලැබූවේ අධිකරණයෙන් ලබාදුන් තීන්දු පාදක කරගනිමින් බවයි.