මෙගන් මර්කල් ජනප්‍රිය වෙන්න පැපරාසීන් යොදාගෙන !

හැරී කුමරුගේ බිරිය මෙගන් මර්කල් බ්‍රිතාන්‍යයේ ජනප්‍රියවීමට රහසිගත වැඩ පිළිවෙලක් ගෙන ගියාදැයි සැකයක් මතුව තිබේ. මේ සැකය මතුව තිබෙන්නේ 2015 වසරේදී පැපරාසීන් පිරිසක් ඇයව ඡායාරූප පෙළකට හසුකර ගැනීමේ සිද්ධියක් පසුපස ඇති කරුණු අනාවරණයවීමත් සමඟමය. 2015 වසර වනවිට මෙගන් මර්කල් එතරම් ප්‍රකට නිළියක් නුවූවාය. ඈ රංගනයෙන් දායක වී සිටි රූපවාහිනි මාලා කතාවල ඇතැම් ඒවා බ්‍රිතාන්‍යයේද විකාශනය වෙමින් තිබිණ. එවන් පසුබිමක් පැවැතියත් දුටු පමණින් මෙගන් මර්කල්ව හඳුනාගැනීමට හැකි තරමේ ජනප්‍රියත්වයක් ඇය හිමි කරගෙන නොසිටි බව සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු පළ කරන “මේල් ඔන්ලයින්” වෙබ් අඩවිය කියා සිටී.

එම වසරේ මාර්තු මාසයේ දිනෙක ඇය බ්‍රිතාන්‍යයේ පළවන “ද මේල් ඔන් සන්ඩේ”හි “යූ” සඟරාවට සම්මුඛ සාකච්ඡාවක් ලබාදිය යුතුව තිබිණ. සම්මුඛ සාකච්ඡාව පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබුණේ ලන්ඩන් නුවර කෙන්සින්ග්ටන්හි ටොටෝ නැමැති ඉතාලි ආපනශාලාවේදී ය. එම අවස්ථාව සඳහා පැමිණෙන මෙගන්ව කැමරාවට හසුකර ගන්නට පැපරාසියකු සමත් විණ. කිසිවකු හදිසියේම තමන්ගේ ඡායාරූප ගන්නා බව දැන දැන මෙගන් මර්කල් ඒ පිළිබඳව ප්‍රශ්න නොකිරීම හෝ ඊට විරෝධය නොදැක්වීම හෝ පුදුමයක් බව “මේල් ඔන්ලයින්” වාර්තාවේ දැක්වේ. එතරම් ජනප්‍රියත්වයක් නැතිව සිටි මෙගන්ව පැපරාසීන් මේ අන්දමට කැමරාවට හසු කරගත්තේ මන්ද යන්න පිළිබඳවත් විශාල සැකයක් මතුව ඇත.

“මේල් ඔන්ලයින්” වාර්තාවෙන් කියැවෙන්නේ මේ ඡායාරූප ගැනීම මෙගන් සහ ඇගේ නියෝජිතවරයෙක් කල් ඇතිව සංවිධානය කර තිබුණු බවකි. එහි යටි අරමුණ මෙගන්ගේ ප්‍රතිරූපය බ්‍රිතාන්‍යය තුළ නැංවීම බවත් එම වාර්තාවෙන් පෙන්වා දෙයි. බ්‍රිතාන්‍යයේ පළවන “ඩේලි මේල්” වෙබ් අඩවිය මේ තොරතුරු අනාවරණය කරන්නේ මෙගන්ගේ ජීවන තොරතුරු ඇතුළත් “ෆයින්ඩින්ග් ෆ්‍රීඩම්” (Finding Freedom) නැමැති නවතම කෘතියේ කරුණු උපුටා දක්වමිනි.

මෙගන් – හැරී පළමු හමුව සිදුවන්නේ ලන්ඩනයේ ඩීන් ස්ට්‍රීට් ටවුන්හවුස්හිදී 2015 වසරේ ජූලි මාසයේදීය. එනම් මෙම සිදුවීමෙන් මාස කිහිපයකට පසුවය. එසේ වුවත් හැරී – මෙගන් පෙම් හබය මාධ්‍යයෙන් පළමුවෙන්ම වාර්තා වන්නේ එයට පසු වසරේ ඔක්තෝබර් මාසයේ දී බව දැක් වේ.

Recommended For You

About the Author: Editor